වසර 18 ක්‌ සෞදියේ දුක්‌ විඳින අපේ අම්මා ගෙනත් දෙන්න දෙයියනේ... ~ niruwatha

Wednesday, February 5, 2014

වසර 18 ක්‌ සෞදියේ දුක්‌ විඳින අපේ අම්මා ගෙනත් දෙන්න දෙයියනේ...

ගෘහ සේවිකාවක්‌ ලෙස සෞදි අරාබියේ රැකියාවකට ගිය කාන්තාවක්‌ වැටුප් නොගෙවා හොර රහසේ සිරකර ගෙන අමානුෂික අයුරින් වසර 18 ක්‌ පුරා වැඩ ගනිමින් සිටියදී එයින් මිදී දැනට වසර 2 කට ආසන්න කාලයක්‌ රියාද් තානාපති කාර්යාලයේ සිටියත් මෙතෙක්‌ ඇය ලංකාවට ගෙන්වා ගැනීමට බලධාරීන් නිසි ලෙස කටයුතු නොකිරීම නිසා ඇය තවත් අසරණ භාවයට පත්ව රෝගීව සිටිතැයි ඇයගේ දරුවෝ කියා සිටිති.

තිදරු මවක වන මානවඩුගේ ඉන්ද්‍රdණි නමැති ඇය ගම්පොල ඇත්ගාල ප්‍රදේශයේ පදිංචිව සිටියදී 1995.11.19 දින සෞදි අරාබියේ ගෘහ සේවිකාවක්‌ ලෙස රැකියාවකට ගොස්‌ ඇති අතර එදින සිට ඇය පිළිබඳ කිසිම තොරතුරක්‌ නොමැති බව ඇගේ පුතෙකු වන අජන්ත මනෝජිත් පවසයි.

අම්මා සෞදි යන්න කලින් ඩුබායි, ලෙබනන් වගේ රටවල වැඩ කරන්න ගියා. මේ විදිහට මට අවුරුදු තුනක ඉඳලා අම්මා විදේශ රැකියාවලට ගියා. තාත්තාටත් අපටත් ස්‌ථිර රැකියා නොමැති නිසා තමයි අම්මා මේ විදිහට රට ගියේ, 95 දී අම්මා සෞදි ගියාට පස්‌සේ තොරතුරක්‌ නැති වුණා. මේ නිසා අපි අම්මාගේ අතුරුදන් වීම ගැන විදේශ සේවා එකට පැමිණිලි කළා. ඒකින් වැඩක්‌ වුණේ නැහැ.

දන්වන්න ඕනෑ හැම තැනටම කිව්වත් මේ අය කිව්වේ අම්මා ගැන තොරතුරක්‌ නෑ කියලයි.

පස්‌සේ අපි මේ විදිහට අවුරුදු 7-8 ක්‌ම අම්මා හෙව්වා. හැම තැනටම ණය වෙලා කොළඹ යනවා. විදේශ සේවා එකට යනවා. ඒත් වැඩක්‌ වුණේ නැහැ.

මේ විදිහට අවුරුදු 18 ක්‌ම ගියා. පස්‌සේ ඇත්ගාල පොලිස්‌ මුරපොළේ දැන්වීමක්‌ ගහලා තිබුණා අම්මා එරට තානාපති කාර්යාලයේ ඉන්නවා කියලා. පොලිසියේ මුරපොළේ ලොකු මහත්මයා වන ඉක්‌බාල් මහත්තයා මාර්ගයෙන් අපි අම්මාට කතා කළා. එතකොටයි අපි දැන ගත්තේ අම්මා නොවිඳිනා දුක්‌ විඳලා තියෙන බව.

අම්මා ඒ රටේ ගෙදරක හිරකරගෙන ඉන්න කොට ලංකාවේ එක්‌කෙනෙක්‌ දැකලා ඒ ගැන ක්‍රියා කරපු නිසයි එතැනින් බේරෙන්න පුළුවන් වෙලා තියෙන්නේ.

දැන් අවුරුදු 1 1/2 ක්‌ම අම්මා තානාපති කාර්යාලයේ ඉන්නවා. එයාගේ අවුරුදු 18 ක පඩි සල්ලිත් නෑ. විදේශ සේවා එකෙන් කියනවා සල්ලි එපා කියලා ලියුමක්‌ දෙනවානම් එයා ඉක්‌මනට එවන්න පුළුවන් කියලා. මෙච්චර කාලයක්‌ ගිහිල්ලත් අම්මා ගැන කටයුතු කරන්න කිසි කෙනෙක්‌ නැති නිසා එයා අද තවත් අසරණ වෙලා.

අජන්තගේ බිරිඳ වන ඉරේසා නෙළුම් කුමාරි(-

"අම්මාට අපි කෝල් කරාම එයා අපට විස්‌තරේ කීවා. එයාට හැමදාම ගෙවල් 3 ක වැඩ කරන්න වෙලා. ඒ අයගේ බැටළු කොටුවලත් වැඩ කරන්න වෙලා. ඒ නිසා එයාගේ අත් කකුල් කුණුවෙලා තියෙන බවත් කීවා. රට ඉඳි කපන්නත් ඕනලු. ඒ වගේ බර වැඩ මෙයාගෙන් අරගෙන".

"මේ විදිහට හිර කරගෙන වැඩ ගන්න කොට දවසක්‌ එතැනින් මෙයාට පැන යන්න පුළුවන් වෙලා. තානාපති කාර්යාලයට ඇවිත් ඒකේ හිටිය නිලධාරීන් වැඩි ගානකට ආයෙත් මෙයා හිටපු තැනටම දුන්නා කියලා අම්මා කීවා".

අද අම්මගේ අවුරුදු 18 ක පඩි සල්ලිත් නෑ. එයා දැන් ලෙඩ වෙලා ඉන්නේ. කෝල් කරන කොට එයා කෑගහල අහනවා මට මැරෙන්න ඉඩ ඇරලා ඉන්නේ මාව ලංකාවට ගෙන්වා ගන්නේ නැද්ද කියලා. අපි ඉල්ලා සිටින්නේ අම්මට සාධාරණයක්‌ කරලා දැන්වත් එයා ලංකාවට ගෙන්වා දෙන්න කියලයි.




මේ සම්බන්ධයෙන් මෙම දරුවන් ජනාධිපතිවරයා, විදේශ සේවා ඇමැතිවරයාට හා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමටද පැමිණිලි කරමින් ඇය ලංකාවට ගෙනවිත් දෙන ලෙස ඉල්ලා ඇත.

2012.11.29 දින විදේශ සේවා නියුක්‌ති කාර්යාංශය වෙත පැමිණිලි අංක FA/CONS/D1/12/233/CD/862/1211 මගින් පැමිණිලි කර ඇතත් මෙතෙක්‌ ඒ පිළිබඳව කිසිදු ක්‍රියාමාර්ගයක්‌ ගෙන නොමැති බවද මේ ලෙස දන්වා ඇත.

අප මේ පිළිබඳ විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයෙන් විමසීමේදී එහි නිලධාරීන් පවසා සිටියේ ඉන්ද්‍රdණි මහත්මියගේ හිඟ වැටුප් රැගෙන දීමට කටයුතු කරන නිසා ඇය ලංකාවට එවීමට පමා වන බවයි.

කෙසේ වෙතත් ඉන්ද්‍රdණි මහත්මියගේ දරුවන් පවසා සිටියේ වසර 18 ක්‌ පුරා තම මව ගැන විදේශ සේවා කාර්යාංශය කටයුතු නොකළා සේම ඇය හමුවී වසර 2 කට ආසන්න කාලයක්‌ ගත වුවත් අදටත් ඇය පිළිබඳව ඔවුන් නිසි ලෙස කටයුතු නොකිරීම නිසා ඇය ඉන් දුක්‌ විඳින බවයි.


දිවයින
ගම්පොල - සුරංග දිල්හාන්

කතෘ සටහන 
ශ්‍රී ලාංකීය විදේශ සේවා නියුක්තිකයන් රැක ගැනීම උදෙසා මෙරට වෙනමම කාර්යාංශයක් ඇත.විදේශ කටයුතු ගැන වගකීම කරට ගත් ඇමතිවරයෙක් ඇත.2012.11.29 දිනයේදී විදේශ සේවා නියුක්ති කාර්යංශයට පැමිණිල්ලක් කළද මේ වනතුරු මොවුන්ගේ ක්‍රියාකාරී බවක් දක්නට නොමැත.මොවුනට මේ තවත් එක් සේවිකාවක් පමණි.ඩිලාන් ඇමතිතුමාටවත් එම කාර්යාංශ වල ප්‍රධානින්ටවත් අඩුම තරමේ සවුදි එම්බසියේ සිටිනා නිළධාරීන්ටවත් මෙම කාන්තාව තම සහෝදරියක් ලෙස නොපෙනී ඇත.
නමුත් කාලය එළඹ ඇත.ඔබ තවමත් පරක්කු නොමැත.ඩිලාන් ඇමතිතුමෝ දැන්වත් යුක්තිගරුකව තම සේවය නියමාකාරයෙන් ඉෂ්ඨ කිරීමට ඔබ නැතත් (hi) ඔබේ සේවකයන්ටවත් පුරුදු කල මැනවි) (ඔබ යුක්තිගරුක වීමට හැකි බැවින් ඔබ නැතත් යැයි පැවසීය.)



1 comments:

Unknown said...

ma vage aparada karana unta hanama gahapiya!! paw daiyane a amma :(

Post a Comment