බිල් ගේට්ස් හා සෝමවංශ රනිල්ට දුන් කනේ පහර ~ niruwatha

Friday, February 7, 2014

බිල් ගේට්ස් හා සෝමවංශ රනිල්ට දුන් කනේ පහර

එංගලන්තේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ කියලා කිව්වේ ජිප්සීස් නායක සුනිල් පෙරේරාය. සුනිල් කියන විදියට එංගලන්තේ සිද්ධවෙන දේවල් කවදාවත් ලංකාවේ සිද්ධවෙන්නේ නැත. ඒ අර්ථයෙන්ම ගත්තොත් ඇමෙරිකාවේ සිද්ධ වෙන දේවලුත් ලංකාවේ සිද්ධවෙන්නේ නැත. එතකොට කියන්න තියෙන්නේ ඇමෙරිකාවේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ කියලාය.

හැබැයි දැන් ඇමෙරිකාවේ වෙන දේවලුත්, අපගේ අසල්වැසි ඉන්දියාවේ වෙන දේවලුත් ලංකාවේ සිද්ධවෙන්න පටන් අරන් තිබේ. ඒ නිසා දැන් සුනිල් පෙරේරාට තමන්ගේ සිංදුව වෙනස් කරන්න කාලය ඇවිල්ලා තිබේ. සුනිල් සිංදුව වෙනස් කරන්න ඕනෑ මෙන්න මේ විදියටය. ඇමෙරිකාවේ එහෙම වුණත්... ඉන්දියාවේ එහෙම වුණත්... ලංකාවේ එහෙම වුණත්... යූ.ඇන්.පී.යේ එහෙම වෙන්නේ නෑ... අපේ රනිල් මැතිඳු ගෙදර යන්නේ නෑ... කියලාය.




‘මොකද්ද මේ ඇමෙරිකාවේ එහෙම වුණත් කියලා කියන්නේ?’ 
ඇමෙරිකාවේ එහෙම වුණත් කියලා කියන්නේ මයික්‍රොසොෆ්ට් සභාපති බිල්ගේට්ස් විශ්‍රාම ගැනීමය. මයික්‍රොසොෆ්ට් සමාගමේ සභාපති ධුරයෙන් බිල් ගේට්ස් අයින් වෙලා සමාගම ඉදිරියට ගෙන යෑමේ වගකීම අලුත් කණ්ඩායමකට භාරදීමය.

මයික්‍රොසොෆ්ට් සභාපති බිල් ගේට්ස් මයික්‍රොසොෆ්ට් සමාගමේ සභාපති ධුරයෙන් ඉවත්වීමේ තීරණය ප්‍රකාශ කිරීමත් සමඟ ලෝකයම හෙල්ලිලා ගියේය. මොකද බිල් ගේට්ස් මයික්‍රොසොෆ්ට් සමාගමේ සභාපති ධුරයෙන් ඉවත් වුණේ හදිසියේමය. බිල් ගේට්ස්ට ගෙදර යන්න කියලා මයික්‍රොසොෆ්ට් සමාගමේ කිසිම කෙනකු කියලා තිබුණේ නැත. ඒ වාගේම බිල් ගේට්ස්ගේ පාලනය යටතේ මයික්‍රොසොෆ්ට් සමාගම පාඩු  ලබලා හෝ සමාගමේ ලාභ අඩුවෙලා හෝ තිබුණේ නැත. ඉතින් එහෙම තත්ත්වයක් තුළ මේ ප්‍රකෝටිපති ව්‍යාපාරිකයා මයික්‍රොසොෆ්ට් මහ පුටුවෙන් බිමට බහියි කියලා කවුරුවත් හීනෙකින්වත් හිතුවේ නැත.

හැබැයි කවුරුවත් හීනෙන්වත් නොහිතපු දෙය පහුගිය අඟහරුවාදා සිද්ධ වුණේය. තමන් මයික්‍රොසොෆ්ට් සභාපති පුටුවෙන් අයින් වන බව බිල් ගේට්ස් නිල වශයෙන් නිවේදනය කළේය. බිල් ගේට්ස්ගෙන් හිස්වන මයික්‍රොසොෆ්ට් සභාපති පුටුවට අලුතෙන් පත්වන්නේ ජෝන් තොම්සන්ය. එසේම මයික්‍රොසොෆ්ට් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි තනතුරේද වෙනසක් සිදු කරමින් ඉන්දියාවේ උපන් සත්‍යා නැඩෙල්ලා මයික්‍රොසොෆ්ට් ක‍ෑධ ලෙස අලුතින් පත්වෙලා තිබේ. 
‘හැමදාම හැමදේම මට කරන්න බැහැ. අලුත් නායකත්වයක්, අලුත් කළමනාකාරීත්වයක් ඉදිරියට පැමිණිය යුතුයි. එවිටයි සමාගම තවත් දියුණු කළ හැක්කේ. අලුතින් පත්වූ සත්‍යා සහ ජෝන් මටත් වඩා හොඳට මයික්‍රොසොෆ්ට් සමාගම ඉදිරියට ගෙන යනු ඇතැයි මම විශ්වාස කරනවා.’

සභාපති පුටුවට සමුදෙමින් බිල් ගේට්ස් අලුතෙන් පත්වූ අයට සුබ පැතුවේ ඒ විදියටය. 
අලුත් අයට, තරුණ අයට තැන දෙමින් තම තනතුරෙන් විශ්‍රාම යමින් මයික්‍රොසොෆ්ට් නිර්මාතෘ බිල්ගේට්ස් ලෝකයටම ආදර්ශයක් දුන්නේය. ඇමෙරිකාවේ බිල් ගේට්ස් ඒ විදියට ලෝකයටම ආදර්ශයක් දෙද්දී ඉන්දියාවේ භාරතීය ජනතා පක්‍ෂයේ නායකයාව සිටි ලාල් ක්‍රිෂ්ණ අද්වානිටද මීට මාස ගාණකට කලින් බී.ජේ.පී. නායකත්වය නරේන්ද්‍ර මූඩිට දීලා ගෙදර යන්න සිද්ධ වුණේය.

බිල්ගේට්ස් වාගේ ලාල් ක්‍රිෂ්ණ අද්වානි කැමැත්තෙන් පුටුව අත්නොහැරියත් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ තීරණය අනුව අද්වානිට අකැමැත්තෙන් වුණත් ගෙදර යන්න සිද්ධ වුණේය. අද්වානි ගෙදර යෑම නිසා අද භාරතීය ජනතා පක්‍ෂය ඉන්දියාවේ ඊළඟ මහ මැතිවරණය ජයග්‍රහණය කරන පක්‍ෂය බවට පත්වෙලා තිබේ. පසුගිය ප්‍රාන්ත සභා ඡන්ද කිහිපයක්ම භාරතීය ජනතා පක්‍ෂය ඉහළින්ම ජයග්‍රහණය කළේය. අද හැමෝම කියන්නේ ඊළඟට ඉන්දියාවේ ආණ්ඩුව පිහිටුවන්නේ භාරතීය ජනතා පක්‍ෂය කියලාය. අගමැති වෙන්නේ නරේන්ද්‍ර මූඩි කියලාය. කොංග්‍රස් පක්‍ෂයටත්, මන්මෝහන්ටත්, සෝනියාටත්, රාහුල්ටත් ඇපත් නැති වෙනවා කියලාය. බී.ජේ.පී. එක මේ ජයග්‍රාහී මාවතට අවතීර්ණ වුණේ අවුරුදු ගණනාවක් බී.ජේ.පී. නායකත්වයේ හිටපු ලාල් ක්‍රිෂ්ණ අද්වානි වෙනුවට ජවසම්පන්න අශ්වයකු වන නරේන්ද්‍ර මූඩි බී.ජේ.පී. නායකත්වයට පත්වීම නිසාය.

ඒ ඉන්දියාවේය. ඉන්දියාවේ එහෙම වෙද්දී ලංකාවේද අලුත්ම වෙනසක් සිද්ධ වුණේය. ඒ ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය අනුර කුමාර දිසානායකට හිමිවීමය. සෝමවංශ අමරසිංහගේ නායකත්වය සමඟ මන්දගාමී දේශපාලන ගමනක නිරත වී සිටි ජනතා විමුක්ති පෙරමුණට ජවසම්පත්ත තරුණයකු වන අනුර කුමාර දිසානායකගේ පැමි”ම අලුත් ශක්තියක් වී තිබේ. අනුරට ජ.වි.පෙ. නායකත්වය හිමිවීමත් සමඟ ජනතා විමුක්ති පෙරමුණු සාමාජිකයන් තුළ නව පිබිදීමක් ඇතිවී තිබේ. එසේම ඒ පිබිදීම සමාජය වෙතද කාන්දු වී තිබේ. දිගින් දිගටම පරාජයේ අස්වනු නෙළුෑ  ජනතා විමුක්ති පෙරමුණට දැන් අලුත් නායකයකු යටතේ අලුත් ගමනක් යන්න අවස්ථාව උදාවී තිබේ. දිගින් දිගටම ලැබූ පරාජ හමුවේ සිය නායකත්වය වෙනස් කරන්න තරම් කශේරුකාවක් ජනතා විමුක්ති පෙරමුණට තිබුණේය. සෝමවංශ අමරසිංහගේ වයෝවෘද්ධ නායකත්වය යටතේ රාජපක්‍ෂ රෙජීමයට පහර දීම අමාරු බව ජනතා විමුක්ති පෙරමුණ තේරුම් ගත්තේය. ඒ නිසා අලුත් නායකයකු පත්කර ගත්තේය.

ඇමෙරිකාවේ බිල්ගේට්ස් දුන් ආදර්ශය, ඉන්දියාවේ බී.ජේ.පී. එකේ ආදර්ශය සහ ලංකාවේ ජේ.වී.පී. එකේ ආදර්ශය අරගෙන හැදෙනවා නම් හැදෙන්න යූ.ඇන්.පී. එකට කාලෝ අයන්තේය. පැරැණි නායකත්වය එක්ක ඉදිරි ගමනක් නැති බව භාරතීය ජනතා පක්‍ෂයට තේරුණා නම් ජනතා විමුක්ති පෙරමුණට තේරුණා නම් එක්සත් ජාතික පක්‍ෂයට නොතේරී තියෙන්න හේතුවක් නැත.

අද රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රිවරුන්ගෙන් ගුටි කන මට්ටමට සවුත්තු වී තිබේ. සැබෑ නායකයකු නම් ඛෙල්ලෙන් අල්ලා එළියට දමන තුරු නොසිට තමන්ට බැරි බව තේරුණු විට සුදුස්සකුට තැන දී ගෙදර යන්න ඕනෑය. එහෙම නොකරන නායකයන් ගැන ඉතිහාසයේ ලියැවෙන්නේ නායකයන් ලෙස නොව කූඩැල්ලන් ලෙසය.

ඉතින් ඉගෙන ගන්නවා නම් රනිල්ට බිල් ගේට්ස්ගෙන් හොඳ පාඩමක් ඉගෙන ගන්න පුළුවන්ය. එහෙම නොවුණොත් වෙන්නේ එක්සත් ජාතික පක්‍ෂයට ඉතිරි වෙලා තියෙන ඡන්ද 20%නුත් භාගයක් සරත් ෆොන්සේකාගේ සාක්කුවට වැටීමය. එය එනිසා මේ එළැඹ තියෙන්නේ තීරණාත්මක නිමේෂයකි. ගේට්ස්ගෙන් බැරිනම් අඩුම තරමේ අමරසිංහගෙන්වත් පාඩමක් ඉගෙන ගෙන යූ.ඇන්.පී. නායකත්වයෙන් අයින් වෙලා තරුණ නායකයකුට පක්‍ෂය භාර දුන්නොත් රාජපක්‍ෂ රෙජීමය පලවා හැරීමේ සටන පටන් ගන්න පුළුවන්ය. එහෙම නොවුණොත් එක්සත් ජාතික පක්‍ෂයත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ තවත් එක් හවුල්කාර පක්‍ෂයක් පමණක් වනු ඇත.
  
සඳුන් ජීවන්ත
මවුබිම

0 comments:

Post a Comment