සිවෝල් නැවේ සිසුන්ගේ මවුපියන්ගෙන් දකුණු කොරියානු අගමැතිට ප්‍රහාරයක්‌ ~ niruwatha

Thursday, April 17, 2014

සිවෝල් නැවේ සිසුන්ගේ මවුපියන්ගෙන් දකුණු කොරියානු අගමැතිට ප්‍රහාරයක්‌

294 ක්‌ සොයාගෙන නැහැ

දැඩි සාගර ප්‍රවාහ නිසා නැව තුළට යැමට කිමිදුම්කරුවන්ට නොහැකි වේ

179 කගේ දිවි ගලවා ගත් බව දකුණු කොරියානු රජය පවසයි

නැවේ තිබූ නවීන මෝටර් රථ 150 ක්‌ මුහුදු පතුලේ



සිවෝල් නැමැති දකුණු කොරියානු නැවේ සිටි සිසුන් ඇතුළු මගීහු 475 කගෙන් මේ වන විට බේරා ගෙන ඇත්තේ 179 කි. මේ නිසා ජනතාවගේ කෝපය උත්සන්න වී තිබේ. ඡේජු නමැති දූපත වෙත යමින් සිටි සිවෝල් නැවේ සිටි අයගෙන් 289 ක පිරිසක්‌ සොයාගැනීමට නොහැකි වී ඇතැයි ජීවිතාරක්‍ෂක නිලධාරීහු පවසති. - මියගිය පිරිස 9 ක්‌ බව නිල වශයෙන් ප්‍රකාශ කර ඇත.

නැවේ ගමන් කළ පිරිසගෙන් 372 ක්‌ උසස්‌ අධ්‍යාපනය ලබන සිසුන්ය. සිසුන්ගේ මවුපියන් දකුණු කොරියානු රජයට චෝදනා කරමින් විපතට පත් වුවන් කඩිනමින් බේරාගැනීමට ක්‍රියා කර නැතැයි පවසා තිබේ. කෝපයට පත් එක්‌ පියෙක්‌ දකුණු කොරියානු අගමැති වොන් ගොන් බොන්ට වතුර බෝතලයකින් දමා ගසා ඇත.

සිවෝල් නැව විපතට පත් වූ බව දැනගත් විගස ඩොලර් 35 ක්‌ ගෙවා බෝට්‌ටුවක්‌ කුලියට ගත් මව්පියන් දසදෙනෙක්‌ නැව අසලට ගොස්‌ ආපසු වෙරළට පැමිණ පැවසුවේ බේරාගැනීමේ ක්‍රියාදාමයක්‌ දියත් කර ඇති බවට මාධ්‍ය කළ ප්‍රකාශය බොරුවක්‌ බවයි.


විශාල පිරිසක්‌ සිවෝල් නැවේ සිරවී සිටින බව එකී මවුපියන් ප්‍රකාශ කර ඇත. ටොන් 6825 ක්‌ බරැති සිවෝල් නැවේ සිටි කුඩා දරුවන්ට නැව තුළම සිටින ලෙස උපදෙස්‌ ලැබී තිබූ බවද වාර්තා වී තිබේ. දිවි ගලවා ගත් එක්‌ කොරියානු ජාතිකයකු වූ ග්‍රන්ගන් කොරියානු මාධ්‍ය අමතමින් නැවට ජලය ගලා එන අවස්‌ථාවේ ළමුන් මරහඬ දුන් බව කියා සිටියේය.

නැව අවට ශීතල ජල ප්‍රවාහ ගමන් කළා. ශීතල ජලයේ වැඩිවෙලාවක්‌ රැඳීසිටින්නට බැහැ යෑයි ඔහු තවදුරටත් පළ කළේය.

යොන්හාප් නැමැති දකුණු කොරියානු ප්‍රවෘත්ති ඒජන්සිය පැවසුවේ අධික වේගයෙන් යාත්‍රා කළ නැව මුහුදේ තිබූ යම් දෙයක ගැටී ඇති බවයි. මේ අතර එක්‌ මවක්‌ පැවසූවේ තම පුත්‍රයා එස්‌. එම්. එස්‌. පණිවුඩයක්‌ එවමින් කියා තිබුණේ නැව ගිලෙන බවත් බේරා ගන්නා ලෙස බලධාරීන්ට කියන ලෙසත්ය. සිවෝල් නැවේ තිබූ නාවික බහලු පෙරළීමත් සමග නැවේ සමබරතාවය නැති වී නැව පැත්තකට ඇල වුණ බව දිවි ගලවා ගත් තවත් සිසුවකු හෙළි කර ඇත.

මෙම නැවේ ගමන් කළ මගියකු වූ කිම් යොන්ග් ප්‍රකාශයක්‌ කරමින් කාර්ය මණ්‌ඩලය නැව විපතට පත්වීම ගැන කළ තක්‌සේරුව වැරදි නිසා බොහෝ දෙනා කාමරවල සිර වූ බව කීවේය.

සිවෝල් නැවේ කපිතාන්වරයා දිවි බේරාගෙන ඇත. දකුණු කොරියාවේ සියෝල් අගනුවරට දකුණින් පිහිටි අන්සාන් නමැති උසස්‌ පාසලේ ඉගෙනුම ලබන සිසුන් මෙවන් විපතක්‌ සිදු වනු ඇතැයි සිතුවේ නැත. නැව විපතට පත්වන අවස්‌ථාවේ සමහර සිසුන් උදේ ආහාරය ගනිමින් සිටි බව වාර්තා වේ.

නැවේ අංගනයක්‌ තුළ නවීන මෝටර් රථ 150 ක්‌ ද තිබුණි.

මවුපියන් විශාල පිරිසක්‌ රජයට චෝදනා නගා ඇත්තේ නැව ගිලීයාමෙන් පසු ජීවිතාරක්‍ෂක කටයුතු ඇරඹීම නිසාය. ජීවිතාරක්‍ෂක කටයුතු අඳුර වැටීම නිසා තාවකාලිකව නතර කරනු ලැබූ අතර බෝට්‌ටු කීපයකින් අවට ප්‍රදේශය ආලෝකවත් කිරීමෙන් පසු යළි අරඹා ඇත.

දකුණු කොරියානු රජය මවුපියන්ගේ චෝදනාවලට ප්‍රතිචාර දක්‌වමින් පැවසුවේ දැඩි සාගර ප්‍රවාහ නිසා විපතට පත් වුවන් ගලවා ගැනීමේ මෙහෙයුම් දුෂ්කර වූ බවයි. මෙම ගලවා ගැනීමේ මෙහෙයුම සඳහා ඇමරිකානු නාවික හමුදාව බොන්නොම්වේ නමැති ඇම්පිබියස්‌ නැව යවා ඇත. මේ අතර තමාට එකී සිසුන්ගේ මවුපියන් වතුර බෝතල් ප්‍රහාරයක්‌ එල්ල කළ බව දකුණු කොරියානු අගමැතිවරයා කීවේය.


කෙසේ වෙතත් දකුණු කොරියානු නාවික හමුදාව සහ ජීවිතාරක්‍ෂක භටයන් ඇතුළු දහස්‌ ගණනක්‌ බලා සිටියදී සිවෝල් නැව ගිලී ගියේය. එහෙත් 290 ක්‌ වු පිරිසක්‌ තවමත් සොයාගෙන නැත.