ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකාව නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි. ~ niruwatha

Friday, April 11, 2014

ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකාව නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි.

ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිලේ නායිකා ශෂිකලා සිරිවර්ධන නායකත්වයෙන් ඉවත් වීමට තීරණය කර තිබේ. ශෂිකලා නායකත්වයෙන් ඉවත්වීමේ තීරණය ඊයේ (10) ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට නිල වශයෙන් දැනුම්දී තිබේ.

ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම ක‍්‍රිකට් ක‍්‍රීඩිකාව ලෙස සැළකෙන 29 හැවිරිදි ශෂිකලා මේ වන විට ලෝක විස්සයි20 කාන්තා ශ්‍රේණිගත කිරීමේ තුන් ඉරියව් ක‍්‍රීඩිකාවන් අතර පළමු ස්ථානයේ ද, පන්දු යවන්නියන් අතර නවවැනි ස්ථානයේ ද, පසු වන ප‍්‍රබල ක‍්‍රීඩිකාවකි.

ශෂිකලා සිරිවර්ධනගෙන් මේ පිළිබඳව ‘ලංකාදීප’ කළ විමසුමකදී පැවසුවේ තමන් මේ පිළිබඳව ඊයේ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට ලිඛිතව දැනුම් දුන් බවයි.

‘‘මා ප‍්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා මහතාට මේ පිළිබඳ ලිපිය බාර දුන්නා. මට නායකත්වයේ හිටියා ඇතැයි සිතුණ නිසා මේ තීරණය ගත්තා, මම හිතනවා තරුණ ක‍්‍රීඩිකාවකට අවස්ථාව දෙන්න මෙය හොඳම කාලය කියලා. මම සාමාන්‍ය ක‍්‍රීඩිකාවක් ලෙස තව දුරටත් ක‍්‍රීඩා කරනවා’’ යැයි ශෂිකලා වැඩි දුරටත් පැවසීය.

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමේදී ඒ මහතා පැවසුවේ ශෂිකලා තමන්ට ලිපියක් බාර දුන් බවත් එය කාන්තා ක‍්‍රිකට් තේරීම් කමිටුවට ඉදිරිපත් කර තීරණය ගන්නා බවයි.

ශෂිකලා සිරිවර්ධන 2005 වසරේ පළමු වරට ශ්‍රී ලංකා කාන්තා පිලේ නායිකාව ලෙස පත්වූ අතර එම කාලය තුළ වසර දෙකකට ආසන්න කාලයක් නායත්වයයෙන් ඉවත්ව සිටි ඇය වසර හතක පමණ කාලයක් නායිකාව ලෙස අනගි සේවයක් කළාය.

ශෂිකලාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා කාන්තා පිල 2013 වසරේ ඉන්දියාවේ පැවැති එක්දින ලෝක කුසලාන තරගාවලියේදී ඉතිහාසයේ පළමු වරට ඉන්දියාව සහ එංගලන්ත පරාජය කරමින් ශ්‍රේණිගත කිරීමේ පස්වැනි ස්ථානයට පැමිණියේය.

දකුණතින් පිත්ත හසුරුවන ශෂිකලා මේ වන විට එක්දින ආන්තර්ජාතික තරග 76 කදී අර්ධ ශතක 7 ක් සමගින් ලකුණු 1,396 ක් රැස්කර ඇති අතර පිට දඟ පන්දු යවමින් කඩුලූ 91 ක් ද දවාගෙන සිටින්නීය.

ඇය විස්සයි20 අන්තර්ජාතික තරග 39 කදී ලකුණු 575 ක් රැස්කරමින්, කඩුලූ 42 ක් ද දවාගෙන තිබේ.   

බංග්ලාදේශයේදී පසුගියදා අවසන් වූ විස්සයි20 කාන්තා ලෝක කුසලාන තරගාවලියේදී ශෂිකලා ශ්‍රී ලංකා පිල මෙහෙයවූ අතර එම තරගාවලියේදී ශ්‍රී ලංකාව 8 වැනි ස්ථානයට පත්විය. එහිදී ශ්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ ප‍්‍රබල ඉන්දීය පිල පරාජය කිරීමට සමත් වූහ.