'අනුශාංගික' යන වචනය නිසා කැසිනෝ පනතට හෙළ උරුමය විරුද්ධ වෙයි. ~ niruwatha

Thursday, April 24, 2014

'අනුශාංගික' යන වචනය නිසා කැසිනෝ පනතට හෙළ උරුමය විරුද්ධ වෙයි.

අද (25දා) පාර්ලිමේන්තුවේදී සම්මත කිරීමට නියමිත ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ 2 වැනි හා 3 වැනි විශේෂ ගැසට් නියමයන්ට විරුද්ධව ඡන්දය දීමට ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන පාර්ශ්වකරුවන් වන ජාතික හෙළ උරුමය, ජාතික නිදහස් පෙරමුණ හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය තීරණය කර තිබේ.ඊයේ (24දා) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනුණු පළමු ගැසට් නිවේදනය වෙනුවෙන් පැවැති ඡන්ද විමසීමේදී ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රි අතුරලියේ රතන හිමියන් ඊට විරුද්ධව ඡන්දය දී ඇති අතර ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රි පරමාණු බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක හා ජාතික නිදහස් පෙරමුණේ නායක නිවාස ඇමැති විමල් වීරවංශ මහත්වරුන් ඡන්දය විමසන අවස්ථාවේ පාර්ලිමේන්තු සභා ගර්භය තුළ සිටියේ නැත.

මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රිවරුන්ද එම විවාදය වර්ජනය කර තිබිණි.
ඊයේ (24දා) පැවැති ආණ්ඩු පක්‍ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී මෙම ගැසට් නිවේදනවල සඳහන් වන 'අනුශාංගික' යන වචනය පිළිබඳ ප්‍රශ්න කර ඇති චම්පික රණවක මහතා එවැනි වචනයක් යෙදීමේ අදහස කුමක්දැයි විමසූ විට ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය ඇමැති ෆයිසර් මුස්තාපා මහතා පිළිතුරු දෙමින් කියා ඇත්තේ හෝටල් සංකීර්ණයේ ආණ්ඩුවට බදු ගෙවන විනෝදාංශ පවත්වාගෙන යන්නේ නම් ඒවාට ඉඩ තිබෙන බවයි.

මේ අතර 'කැසිනෝ' ව්‍යාපාර කරගෙන යෑමට පුළුවන්දැයි චම්පික රණවක ඇමැතිවරයා යළි ප්‍රශ්න කර සිටි අවස්ථාවේ මුස්තාපා නියෝජ්‍ය ඇමැතිවරයා කියා තිබෙන්නේ රටේ නීතියට අනුකූල, රජයට බදු ගෙවන විනෝදාංශයක් පවත්වාගෙන යෑමේ හැකියාව ඇති බවයි.

2013 සැප්තැම්බර් මස නිකුත් කළ ගැසට් නිවේදනය අහෝසි කිරීම ගැන සඳහන් කළ රණවක මහතා එම ගැසට් නිවේදනයේ හෝටල් සංකීර්ණ දෙකකට හා ඒවායේ කැසිනෝ ආරම්භ කිරීමට ආණ්ඩුව ගිවිසුමක් අස්සන් කර ඇත්තේ දැයි විමසූ විට ඊට මුස්තාපා මහතා 'ඔව්' යනුවෙන් පිළිතුරු දී තිබේ.
එය අහෝසි කළාදැයි රණවක මහතා යළි ප්‍රශ්න කරද්දී මුස්තාපා මහතා පිළිතුරු වශයෙන් පවසා ඇත්තේ 'නැත' කියාය. එසේ නම් ජාතික හෙළ උරුමය අද (25දා) පාර්ලිමේන්තුවේදී මීට විරුද්ධව ඡන්දය දෙන බව රණවක මහතා පවසා තිබේ.
කැසිනෝ නොමැති බවට මෙම ගැසට් නිවේදනවල කිසිදු සඳහනක් නොමැති නිසාත්, ඒ අනුව අනාගතයේදී ඒ පිළිබඳ අවදානමක් ඇති බව පෙනෙන නිසාත් මීට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට ජාතික නිදහස් පෙරමුණ තීරණය කර ඇතැයි එම පක්‍ෂයේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා 'මව්බිම'ට පැවැසීය.

0 comments:

Post a Comment