මීළඟ ජනාධිපතිවරණයට දින තීන්දුයි ~ niruwatha

Saturday, April 19, 2014

මීළඟ ජනාධිපතිවරණයට දින තීන්දුයි

දේශපාලන විශ්ලේෂකයන් සහ ජනතාව අතර දැඩි කතාබහට ලක්ව ඇති මීළඟ ජනාධිපතිවරණය සහ ඌව පළාත් සභා මැතිවරණය පවත්වන දින සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අවසාන තීරණය ගෙන ඇත. ඒ අනුව ඌව පළාත් සභා මැතිවරණය ලබන සැප්තැම්බර් මාසයේ මැදදීත්, ජනාධිපතිවරණය ලබන වසරේ ජනවාරි මස 30 වැනිදාත් පැවැත්වීමට නියමිතය. මීට අදාළ නැකැත් සකස් කිරීම දැනටමත් ජනාධිපතිවරයාට සමීප ජ්‍යොතිඥයන්ට භාරදී ඇතැයි ආණ්ඩුවේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.

අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු ලබන සතියේ මේ මැතිවරණවලට අදාළ සංවිධාන කටයුතු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන් දැනුම්වත් කිරීමට නියමිත අතර, බිම් මට්ටමේ ශ්‍රී ල.නි.ප. ශාඛා සමිති ගොඩනැංවීමට මෙන්ම අක්‍රියව ඇති ශාඛා සමිති යළි ක්‍රියාකාරී තත්ත්වයට ගෙන ඒමට සිදු කිරීමට කඩිනමින් සැලසුම් කර ඇත.

ජනාධිපතිවරණයට පෙර පැවැත්වෙන අවසාන මැතිවරණය වන ඌව පළාත් සභා මැතිවරණයේදී තම උපරිම ශක්තිය උරගා බැලීම ආණ්ඩුවේ අරමුණ වී ඇති බව සඳහන් කරන අදාළ ආරංචි මාර්ග, ඉදිරියේදී ආසන සංවිධායකවරුන් කිහිප දෙනකුට අදාළව තීරණාත්මක වෙනස්කම් කිහිපයක් සිදු වනු ඇති බවද අනාවරණය කරයි.

මේ අතර ජනාධිපතිවරණය 2016 වසරේදී පැවැත්වෙන බවට ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨයන් මෙන්ම ජනාධිපතිවරයාද මීට පෙර පවසා තිබිණි. මේ අතර මීළඟ මැතිවරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපති ජ්‍යොතිෂ උපදේශක දේශබන්දු සුමනදාස අබේගුණවර්දන මහතා ~මව්බිම~ට පැවැසූවේ 2015 ජනවාරි 15 වැනිදායින් පසු ජනාධිපතිවරණය පැවැත්වීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සුබදායක සහ ප්‍රබල බවයි.

ජනාධිපතිවරයාගේ කන්‍යා ලග්න ජන්ම පත්‍රයේ සියලුම ලැබීම් පෙන්වන සියලු ග්‍රහයන්ට සුබ 11 වැන්නට පැමිණ ගුරු හෙවත් බ්‍රහස්පතිගේ උච්චත්වය ජුනි මාසයේ 19 වැනිදා සිදුවන බවත් එම ග්‍රහ මාරුව ජනාධිපතිවරයාට ඉතාම බලගතු වාසනාවන්ත ග්‍රහ යෙදුමක් වන අතර එම ගුරු ග්‍රහයාට දෙසැම්බර් මස සිදුවන චක්‍රය හේතුකොටගෙන ජනාධිපතිවරයාට වාසනාව උදාවන බවත් සඳහන් කළ සුමනදාස අබේගුණවර්ධන මහතා එම වාසනාව උදාවන්නේ ලබන ජනවාරි 15 වැනිදායින් පසුව බව අවධාරණය කරයි.

0 comments:

Post a Comment