වික්‍රමබාහු අද හෙටම අත්අඩංගුවට ~ niruwatha

Sunday, February 9, 2014

වික්‍රමබාහු අද හෙටම අත්අඩංගුවට

බස්නාහිර පළාත් සභාවේ ගම්පහ දිස්ත්‍රික්කය සඳහා ඉකුත් 6 දා ගම්පහ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරියා වෙත ව්‍යාජ තොරතුරු සහිත කූට ලේඛන උපයෝගි කරගෙන නාමයෝජනා පත්‍රයක් භාරදීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය හවුල්කාර පක්ෂයක් වන නව සමසමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා සහ එම පක්ෂයේ කණ්ඩායම් නායක, අධිකරණ මාධ්‍යවේදී කේ.අයි. වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීමට ඉඩ ඇති බව ගම්පහ මූලස්ථාන පොලිසියේ ජේ‍යෂ්ඨ නිලධාරියෙක් 'මව්බිම'ට පැවැසීය.

එම නාමයෝජනා පත්‍රයේ මෙරට නොසිටින පුද්ගලයකුගේ හා තවත් පුද්ගලයන් තිදෙනකුගේ ව්‍යාජ නම් හා ලිපිනයන් ඇතුළත් කර ඇතැයි ගම්පහ පොලිසියේ වංචා විමර්ශන අංශය මෙතෙක් කළ සමීක්ෂණවලදී අනාවරණය වී ඇති බවද හෙතෙම පැවැසීය.

ගම්පහ සහකාර මැතිවරණ කොමසාරිස් කාර්යාලය මඟින් අපේක්ෂකයන්ට මනාප අංක ලබාදීම සඳහා අකාරාදිය පිළිවෙළට නම් සකසමින් සිටියදී මෙසේ ව්‍යාජ නම් හා ලිපිනයන් එම නාමයෝජනා ලැයිස්තුවට ඇතුළත්කර ඇති බව අනාවරණය වී ඇතැයිද පොලිසිය කියයි. ගම්පහ දිස්ත්‍රික් නව සමසමාජ පක්ෂ කණ්ඩායම් නායක කේ.අයි. වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍රය අවශ්‍ය කරුණු සපුරා තිබීම හේතුවෙන් එම නාමයෝජනා පත්‍රය පිළිගත් බව ප්‍රකාශ කළ බව ගම්පහ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි ජේ.ජේ. රත්නසිරි මහතා පවසයි.

මේ නාම යෝජනා පත්‍රය මෙරට මැතිවරණ නීතිය පමණක් නොව අපරාධ නීතියද උල්ලංඝනය කරමින් ඉදිරිපත් කර ඇති බැවින්ද ඊට පක්ෂ ලේකම්වරයා ලෙස වික්‍රමබාහු කරුණාරත්න මහතා අස්සන්කර ඇති නිසාද ඔවුන් අත්අඩංගුවට ගෙන නීතිමය පියවර ගැනීමට ඉඩ ඇති බවද පවසන පොලිසිය ඊයේ (9දා) දහවල් වන විට එම නාමයෝජනා ලැයිස්තුවේ නම් අඩංගු අපේක්ෂකයන් 14 දෙනකුගේ ප්‍රකාශ ලබාගෙන ඇති බවද කියයි.

මේ පිළිබඳ 'මව්බිම' නව සමසමාජ පක්ෂ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතාගෙන් ඊයේ කරුණු විමසූ අවස්ථාවේ ඔහු පැවැසුවේ නාම යෝජනා පත්‍රයේ නම්වල යම් දෝෂ හෝ වැරැදි ඇතත් දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරියා විසින් එය පිළිගෙන ඇති බැවින්ද ඊට එරෙහිව කිසිදු විරෝධතාවක් ඉදිරිපත් වී නොමැති බැවින්ද එම නාම යෝජනා පත්‍රය අවලංගු කිරීමට මැතිවරණ කොමසාරිස්වරයාට හැකියාවක් නොමැති බවයි.

කූට ලේඛන ඉදිරිපත් කර ඇත්නම් ඒ බව තහවුරු කර නීතිමය පියවර ගැනීමට පොලිසියට හැකියාව ඇති බවද කරුණාරත්න මහතා සඳහන් කෙළේය.
ඒ සම්බන්ධයෙන් ඊයේ උදේ පොලිස් මූලස්ථානයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කෙළේ එම නාමයෝජනා පත්‍රයේ පිළිවෙළින් අපේක්ෂකයන් 43 දෙනා පිළිබඳ ගම්පහ විශේෂ මැතිවරණ විමර්ශන අංශය පරීක්ෂණ පවත්වන බවයි.
එම අපේක්ෂකයන් 13 දෙනාගේ ප්‍රකාශ මේ වනවිට සටහන් කරගෙන ඇති අතර නාමයෝජනා පත්‍රයේ අංක 25,37 සහ 39 යන නම් සහ ලිපිනයන් ව්‍යාජ ඒවා බව හෙළි වී ඇත.

ඒවායේ සඳහන් පරිදි පූගොඩ පට්ටියගම ලිපිනයන් දෙකක් සහ කිරිකිත්ත නාරංවල ලිපිනය ව්‍යාජ බව අනාවරණය වී තිබේ.
තවත් අපේක්ෂකයන් 27 දෙනකුගේ ලිපිනයන් පරීක්ෂා කර සටහන් කිරීමට ඇති අතර ඒ සඳහා පොලිසිය ඊයේ වන විට අවශ්‍ය පියවර ගෙන තිබූ බවද මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.

මේ නාමයෝජනා පත්‍රයේ නායකයා වශයෙන් කටයුතු කර ඇති කේ.අයි. ඉන්ද්‍රසෝම වික්‍රමසිංහ යන අයගේ ප්‍රකාශ සටහන් කරගෙන ඇති පොලිසිය ඔහු ඒවා සකස්කර ඇති අන්දම සහ භාරගත් අන්දම පිළිබඳ පොලිසියට ප්‍රකාශයක් ලබාදී තිබේ.


උපතිස්ස පෙරේරා සමග ප්‍රේමලාල් විජේරත්න 

0 comments:

Post a Comment