මාත් එක්ක කුණුහරුප කතා කරන්න එපා හරිද? ~ niruwatha

Tuesday, February 4, 2014

මාත් එක්ක කුණුහරුප කතා කරන්න එපා හරිද?

මවුබිම පුවත්පතෙහි youth විශේශාන්ගයේ පළ වුවකි...

අපි මේ පාර 18 වංගුවට කතා කළේ ඡන්දෙ ඉල්ලන්න ලෑස්තිවෙලා ඉන්න ගයේෂා පෙරේරාට. කාර්යබහුලතාව නිසාම වෙන්න ඇති අපිට ගයේෂාව 18 වංගුවට එකතු කරගන්න දෙතුන් පාරක් උත්සාහ කරන්න වුණා. අපේ 18 වංගුවෙ ස්වභාවයත් පැහැදිලි කරල ප්‍රශ්න අහන්න පටන් ගත්ත විතරයි කවදාකවත් නොවුණ දේකට මුහුණ දෙන්න අවස්ථාව ලැබුණා.


1.පංචතූර්ය භාණ්ඩ අතරින් ආතත වාද්‍ය භාණ්ඩයක් නොවන්නේ?
1. දිග් ඛෙරය
2. බුම්මැටිය
3. උඩැක්කිය
4. තම්මැට්ටම

2.ලොව කුඩාම රාජ්‍ය වන්නේ?
1. නේපාලය
2. කොන්ස්තන්තිනෝපලය
3.පැපුවානිව්ගීනියාව
4.වතිකානුව

3.නොගැළපෙන වචනය තෝරන්න
1. පෑලදිග
2. පශ්චිම දිශාව
3. අපරදිග
4.නැඟෙනහිර

ගයේෂගෙන් තුන් වැනි ප්‍රශ්නෙ අහනකොට ෆෝන් එක ගත්තෙ හසංජිත් ඊට පස්සෙ ඇති වුණ කතාබහ සංස්කරණයකින් තොරව අපි යං පාඨකයන්ට ඉදිරිපත් කරන්න හිතුව.
ඇය •- සුපුන් මේ ආර්ටිකල් එක කවුද මීට කලිං කරල තියෙන්නෙ.
මම •- මීට කලිං හරියටම ආර්ටිකල් 52ක් කරල තියෙනව.
ඔහු •- හලෝ∙ මෙහෙමයි සුපුන්. ඔයගොල්ලො ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනකින්ද නැත්තං මොකක් හරි පොලිටිකල් ආර්ටිකල් වගේ වැඩක්ද?
මම •- කවුද දන්නෙ නෑ මේ කතා කරන්නෙ.
ඔහු •- මම හසංජිත් කතා කරන්නෙ.
මම •- හසංජිත් මෙහෙමයි, මේක ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනක්ම නෙවෙයි. අපේ යං එක පටන් ගත්ත දවසෙ ඉඳලම පළවුණා.

උපේක්ෂල, සේමිනීලා, නදීශල එකී මෙකී නොකී සියලුම අය. පෙරේද පත්තරේ හිටියෙ ඉඳුනිල් දිසානායක.
ඔහු •- දැන් මේ වෙලාවෙ ඔයා දන්නවනෙ මෙයාගෙ තත්ත්වෙ. ගයේෂා ඡන්දෙකට ලෑස්ති වෙනව. ගොං උත්තරයක් දීල බෑනෙ. ජෙනුවින්ලි කියන්න මම ඔයාගෙන් ප්‍රශ්න ඇහුවොත් ඔයාටත් බෑනෙ. මම ප්‍රශ්න 20 අහල මට පුළුවං 18න් ඔයා අවුට් කරන්න.
මම •- හසංජිත් මෙහෙමයි. මේ ප්‍රශ්න පුංචි දරුවො පවා දන්න ඒවා. අමාරු ප්‍රශ්න නෑ මෙතැන.
ඔහු •- ඔව්. ඔව්. මේකයි. ගයේෂා අද උදෙත් ඩිඛෙට් එකක්. ඊයේ රෑත් ඩිඛෙට් එකක්. මව්බිමේ මෙච්චර දවසක් ගත්ත ආර්ටිකල්වලට ඉගිළෙන මාළුවො. බැරිනං ඕනම දෙයක් ඇහුවත් ගයේෂ උත්තර දේවි ඔයා දන්නවනෙ.

අහන ප්‍රශ්න ටික සාධාරණව අහන්න. නැත්තං මොකද දන්නවද? ගයේෂට වෙනම මීඩියා ටීම් එකක් ඉන්නව ප්‍රසිඩන්ට් හවුස් එකෙන් මොනිටර් කරනව. එතකොට අපිට මෝඩ වැඩ කරන්න බෑ මේ වෙලාවෙ. දෙන ආර්ටිකල් පවා ලිමිට් කරන්න කියල තියෙන්නෙ අපිට.
මම •- හ්ම්... හ්ම්...
ඔහු •- මම මේ කියන්නෙ මව්බිම එක්ක කිසිම ඉෂූ එකක් නෑ. මව්බිම අපිට ගොඩාක් සපෝට් කරල තියෙනවා. ගිය සතියෙ වුණත් ගයේෂගෙ ආර්ටිකල් දෙකක් දාල දුන්න. ඒව ඔක්කොම පර්ෆෙක්ට්. ඔයා කල්පනා කරල බලන්න හරි ප්‍රශ්නද අහන්නෙ කියල. මොකද ගයේෂ තමයි අද පත්තරවල හෙඩ්ලයින් ඉන්නෙ. දැන් අපි වාසිගන්න නිළියන්ගෙ මොළේ පරීක්ෂා කරන්න ගියොත් මම වගකීමෙන් කියනව දැනුම බුද්ධිය අනෙක් අයට වඩා. නමුත් අමාරුවෙ දාන ප්‍රශ්න අහන්න එපා. ඒක නිසා ඔයා එඩිටත් එක්ක කතා කරල...

මම •- හසංජිත් මම මේ සම්බන්ධයෙන් එඩිටත් එක්ක කතා කරල තියෙන්නෙ.
ඔහු •- මොකද දන්නවද ප්‍රශ්නෙ තියෙන්නෙ. මේක ඉලෙක්ෂන් එකක් කරන මොහොතක් වීම. ඉඳුනිල් දිසානායක ඡන්දෙ ඉල්ලන්නෙ නෑනෙ. අනෙක ගයේෂගෙ මයින්ඩ් එක මේ වෙලාවෙ බිසී.

මම •- මයින්ඩ් එක බිසී වුණා කියල උත්තර දෙන්න අමාරු ප්‍රශ්න නෙවෙයි මේවා. අපි ඉස්කෝලෙ යන කාලෙ අහපු සරලම ප්‍රශ්න.
ඔහු •- හරි ළමයෝ. ඔයාට මං කියන එක තේරෙන්නෙ නෑ. මට ඔයාගෙ ආර්ටිකල් එක ගැන කිසිම ඉෂූ එකක් නෑ. මං කියන්නෙ ප්‍රශ්න සාධාරණ නං අවුලක් නෑ. ගයේෂා ලබන සතියෙ නොමිනේෂන් ගන්න ඉන්නෙ. ඊළඟ මාස දෙක ඇතුළෙ ඡන්දෙ. අපි ඕක ඉලෙක්ෂන් එකෙන් පස්සෙ කරමු. විහිළු නෙවෙයි.

මම •- මමත් විහිළු නෙවෙයි කරන්නෙ.
ඔහු •- ඉන්න කියන්න. මමත් මීඩියා චැනල් එකක හෙඩ් කරපු කෙනෙක්.

මම •- ඔව් ඒක මම දන්නව.
ඔහු •- ඒකනෙ කියන්නෙ. අපි වාද පිටිය ඊයෙ කරා. වාද පිටියට එන්න බෑ කිව්ව නදීෂා, රුවන්ති, ජින්ජර් ලබන ඉරිදා දෙරණෙන් අපිත් එක්ක උදෑසන වැඩසටහනකට කතා කරනව. ඩිඛෙට් එකකට එන්න බැරි කට්ටියක් එක්ක අපි උදෑසන වැඩසටහනකට යන්න ඕන නෑනෙ.

මම •- හසංජිත් කතන්දරේ මෙහෙමයි. 18 වංගුවට ඡන්දෙට ඉදිරිපත් වෙන හැම කලාකරුවෙක් වගේම දේශපාලකයන්ගෙ පුතාල දුවලත් එකතු කරගන්නව. ගයේෂට ගත්තෙත් ඒ පදනම මත.
ඔහු •- ගයේෂා මීඩියා එක්ක හොඳයි. මීඩියා තමයි ගයේෂව උස්සල තිබ්ඛෙ. අද උදේ පළමුවැනි කෝල් එක දිවයින එඩිටගෙන්. අහන ප්‍රශ්න සාධාරණව අහන්න ගයේෂා රෙඩි වුණේ පොලිටිකල් ආර්ටිකල් එකකට. මේ වෙලාවෙ ඔයාගෙ ප්‍රශ්නවල පොඩි අසාධාරණ කමක් තියෙනව.

මම •- ගයේෂට මම පැහැදිලි කරල තියෙන්නෙ.
ඔහු •- හොඳම දේ මම කියන්නද. ඔයා ඕකට ඡන්දෙට ඉන්න අය නෙවෙයි. නිකං ඉන්න ආර්ටිස්ලව දාන්න. ඡන්දෙන් පස්සෙ අපි බලමු ගයේෂව දාන්න. ඔයා පළමු වැනි කකුල් මාට්ටුව දාන්නෙ ගයේෂට.

මම •- මේක කකුල් මාට්ටුවක් නෙවෙයි එහෙම දැනෙන්නෙ පොඩ්ඩක්වත් සාමාන්‍ය දැනුම නැති කෙනකුට.
ඔහු •- හරි ඔයා ප්‍රශ්න ටික එවන්නකො. අපි ඒ ප්‍රශ්නවලට උත්තර දීල එවන්නං.

මම •- එහෙම කරන්න බෑ හසංජිත් ඔයත් මීඩියාවල හිටපු කෙනෙක් කිව්වනෙ. එතකොට දන්නවනෙ පත්තරේක ක්‍රමවේදය.
ඔහු •- ඒක තමයි මම කියන්නෙ. ගයේෂට මීඩියා ටීම් එකක් ඉන්නව. හරි ඔයාට පුළුවන්ද නාමල් රාජපක්ෂට එක පාරටම ප්‍රශ්න 18 අහන්න බෑනෙ.

මම •- නාමල් රාජපක්ෂ මන්ත්‍රිතුමා පළාත් සභාවට ඉල්ලන්නෙ නෑ.
ඔහු •- අපි ගයේෂව ප්‍රටෙක්ට් කරගෙන ඉන්නෙ. මීඩියාවලින් ගහනව. ඉගිළෙන මාළුවන්ගෙන් ගහනව, ඔයාලගෙ කැලෑ පත්තරෙන් ගහනව. ඔයා මමවත් උත්තර දන්නෙ නැති ප්‍රශ්න අහන්නෙ. පෑල‍දොරින්ද මොකක්ද නේද අහපු ප්‍රශ්නෙ.

මම •- ඒ ප්‍රශ්නෙට උත්තරෙ ඔයා දන්නෙත් නැද්ද? හසංජිත් ඔයා චැනල් එකක හෙඩ් වෙලා ඉඳලත් පෑලදිග කියන්නෙ බටහිරට කියල දන්නෙ නැද්ද?
ඔහු •- ඉතිං ළමයො මම ඉගෙන ගත්ත ඉස්කෝලෙ මට ඕක කියල දීලා නෑ. ඒකයි මම කියන්නෙ මේක හරිම ඔළුවෙන් කරන්න ඕන වැඩක්. නදීෂා හේමමාලි ඔයාලගෙ ප්‍රශ්න ඊ-මේල් කරන්න කියපු වෙලාවෙත් ගයේෂා ආර්ටිකල් එක දුන්න.

මම •- මේ ප්‍රශ්නවලට හොඳට උත්තර දුන්නාම ඒක ඇඩ්වාන්ටේජ් එකක් කරගන්න පුළුවන් නේද?
ඔහු •- උතුර - දකුණ පේන්නෙ නෑ. ප්‍රශ්නවලට උත්තර දෙන්න පුළුවං මානසික මට්ටමක්ද තියෙන්නෙ. යං කවර් පේජ් එකටත් ගයේෂ හිටිය. හරි නම් ඔයා කියන්න ඕන ~මෙන්න තියෙනව ගයේෂා ප්‍රශ්න 18 මට මේකට උත්තර දෙන්න~ කියන එක.

මම •- එතකොට හසංජිත් උත්තර කොහෙන් හරි හොයල දෙන්න පුළුවන්නෙ. ආර්ටිකල් එකේ තේරුමක් නෑ එතකොට.
ඔහු •- ඒක තමයි අපි වෙන මොකක් හරි කරමු. 17, 13, 18, 19 සංශෝධන විතරක් නෙවෙයි. සෝභිත හාමුදුරුවන්ගෙ 21 සංශෝධනය බලාගෙන ඉන්න මිනිහෙකුට වතිකානුවෙයි පැපුවානිව්ගිනියාවෙයි සයිස් එක හොය හොයා ඉන්න බෑ.

මම •- එහෙමද?
ඔහු •- අපේ කලාකාරයො ඔලමොට්ටලයො. නමුත් ගයේෂා පෙරේරා ඔලමොට්ටලයෙක් නෙවෙයි.

මම •- ඒකෙන් අලුත් ප්‍රශ්නයක් එනව නේද සේරම කලාකරුවො ඔලමොට්ටලයො. ගයේෂා එහෙම නොවෙනකොට, ගයේෂා කලාකරුවෙක් නෙවෙයිද කියල.
ඔහු •- ඒක ඔප්පු කරා. ඊයේ වාද පිටියට අනෙක් අය ආවෙ නෑ. අපි දෙන්න අතරෙ ආගියුමන්ට් ඕන නෑ. ඔයා ට්‍රයි කරන්නෙ මගේ ආර්ටිකල් එකක් කරන්නද?

මම •- අපෝ නෑ. ඔයාගෙ ආර්ටිකල් එකක් කරන්න තරං වැලිව් එකක් නෑ.
ඔහු •- ආ... ඒකනෙ එහෙනං වෙන කෙනෙක් හොයල ආර්ටිකල් එක කරන්න. අපිට පබ්ලිසිටි හොඳටම ඇති. ගයේෂගෙ දැනුම මනින්න බෑ ඔයාලට ඕන ප්‍රශ්න අහල.

මම •- ඒ කියන්නෙ ගයේෂාගෙ දැනුම මනින්න ඕන ගයේෂට ඕන ප්‍රශ්න අහලද?
ඔහු •- කුණුහරුප කතා කරන්න එපා සුපුන්. ඔයා නිකං රෝන් ටෝක් දාන්න එපා. මාධ්‍යවේදියෙක් වෙච්ච පළියට මාත් එක්ක හරිද? මනුස්සයෙක් එක්ක කතා කරද්දි හරියට කතා කරන්න. මාධ්‍යවේදීන්ට ඕන දේ නෙවෙයි වෙන්න ඕනෙ. ඔයාල මාධ්‍ය සදාචාරය කඩල දාලා ගොසිප් සදාචාරයට රිංගන්න හදන්නෙ. ඔයාලගෙ කැලෑ පත්තරෙන් කැත විදියට ගහල තිබුණ නදීශටයි, ගයේෂටයි, සංවරව හැසිරෙන්න.

මම •- හරි අවසානයෙ කියැවෙන්නෙ ගයේෂා 18 වංගුවට කැමැති නෑ කියලනෙ.
ඔහු •- තුන් වැනියට ඔයා අහපු ප්‍රශ්නෙට මටත් උත්තර නෑ. සමහරවිට මට වඩා ඔයාග දැනුම වැඩි ඇති.

මම •- ඒ කියන්නෙ පළමුවැනි ප්‍රශ්න දෙකටත් උත්තර දුන්නෙ හසංජිත්ද?
ඔහු •- සමහර වෙලාවට ජනාධිපතිතුමාට ඔය ප්‍රශ්න 18 දුන්නත් එතුමටත් පුළුවං වෙයි ප්‍රශ්න තුනකට උත්තර දෙන්න. ඔයා දන්නවනෙ ජනාධිපතිතුමා එකපාරට ආර්ටිකල් දෙන්නෙ නෑනෙ. හොඳට ප්‍රිපයාර් වෙලා එන්නෙ. දෙරණ 3600 දී උපේක්ෂට කරපු දේද ඔයා ගයේෂට කරන්න යන්නෙ. ඒකට ඉඩ දෙන්නෙ නෑ අපි. දිදුල බෝගහකුඹුරල, ක්ලෝචිලා මේ ඔක්කොම ගයේෂට උදවු කරනවා. ඉතිං ඒ වගේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් උදවු කරන තැන ඔයත් ඉඳ ගන්න.
මං ඒකයි කියන්නෙ. ඔය ප්‍රශ්න 18 තුනකට විතරයි නම් ගයේෂට උත්තර දෙන්න පුළුවං. යං බලන අය කියාවි ගොං හරකියෙක්නෙ මේකි කියල. ඉවරයිනෙ වැඩේ.

මම •- ඇත්තටම ප්‍රශ්න 18න් තුනකට විතරයි නං උත්තර දෙන්න පුළුවං ඒක ලොකු ප්‍රශ්නයක් මොකද මේව සරල ප්‍රශ්න.
ඔහු •- මේක අහන්නකො. ගයේෂට ඊට වඩා උත්තර දෙන්න පුළුවං කියල මම දන්නව. ඔයාලට ඉන්ටවීව් දෙන්නෙ නැති පොලිටීෂියන්ල අද ඉන්නෙ.
ඇය •- සුපුන්. මට මේ ඉන්ටවීව් එක කරන්න ඕන නෑ.

ෆ හසංජිත් හැම වෙලාවෙම කිව්වෙ සාධාරණ ප්‍රශ්න අහන්න කියල. අද 18 වංගුවෙ අපි ඉතිරි ප්‍රශ්න පළකරනව. ඔබ තීරණය කරන්න ඒ ප්‍රශ්න අසාධාරණ අමාරු ඒවද කියල.

4. ලංකා ඉතිහාසයේ තහනම් නොවූ චිත්‍රපටයක් වන්නේ?
1.බොරදිය පොකුණ
2.සුළඟ එනු පිණිස
3.ඉගිළෙන මාළුවෝ
4.මල්සර දෝනි

මෙම වචනවල සිංහල අර්ථය කියන්න.
1.හීටරය - (ගිල්වුම් තාපකය)
2.අයිස් ක්‍රීම් - (හිම කිරම)
3.ලයිට් හවුස් - (ප්‍රදීපාගාරය)

මොවුන් කවුරුන්ද?
1.අම්බරුවා - (මී හරකා)
2.ආචාරියා - (කම්මල්කරුවා)
3.බක්කරි - (පෝරනුවේ පාන් තනන්නා)
7.ඉඳ ඉඳ එක වෙහෙර
විඳ විඳ දහම් මනහර
...................................
...................................

සිඳ බිඳ දුක් සසර
අහෝ දෙව්දත් නොදිටි මොක්පුර

8.වර්තමාන ශ්‍රී ලංකාවේ සීනි කර්මාන්ත ඇමැතිවරයා කවුද?
1. ලක්‍ෂ්මන් සෙනෙවිරත්න
2. ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන
3. ලක්‍ෂ්මන් වසන්ත පෙරේරා
4. ලක්‍ෂ්මන් කිරිඇල්ල

9.සුසර සංගීත භාණ්ඩ යනු ?
1. වම් අත භාවිත කරමින් වාදනය කරන සංගීත භාණ්ඩය.
2. තාල තරංගයට කියන තවත් නමකි.
3. කටින් පිඹ (හුළං ආධාරයෙන්) වයන සංගීත භාණ්ඩය
4. එවැනි සංගීත භාණ්ඩ වර්ගයක් මිහිපිට නැත.

10. මුතුකුඩ ඉහළන මල් වරුසාවේ ගීතය ගායනා කරන්නේ කවුද?
1. රෝහණ වීරසිංහ
2. නාරද දිසාසේකර
3. රෝහණ සිරිවර්ධන
4. ආර්. මුත්තුසාමි

11.ඉටිපහන් කෘතිය රචනා කළේ කවුද?
1.සුනේත්‍රා රාජකරුණා
2.සුනේත්‍රා රාහුබද්ධ
3.ජේ.බී. සේනානායක
4.ගුණදාස අමරසේකර

12.ආනන්ද හේවා රංහිඳගේ කලා
ක්‍ෂේත්‍රයේ ජනාදරයට පත්වූයේ?
1. මූර්ති හා කැටයම් ශිල්පියෙක් ලෙසය.
2.ගීත රචකයෙක් ලෙසය.
3.ප්‍රවීණ ගත් කතුවරයකු ලෙසය.
4.සංගීත අධ්‍යක්‍ෂවරයකු ලෙසය.

13.එම විෂයට අදාළව ඔහු අතින් බිහි වූ නිර්මාණයක් සඳහන් කරන්න.
බුදු බණක් කියන්නට පුතු ගෙදර ඇවිල්ලා, සුළඟක් වී මං යනවා, අහස නුඹ මෙතරම් සැඩ යැයි, පිරිත් පොත සේ වැනි ගීත ඔහු අතින් විරචිතය.

14.59 වැනි ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේ හොඳම නිළිය කවුද?
1.දීපිකා පදුකෝන්
2.අමීෂා පටෙල්
3.ලාරා දත්තා
4.කට්රිනා කයිෆ්

15.සිකුරුලියා චිත්‍රපටය කාගේ
අධ්‍යක්‍ෂණයක්ද?
1.එච්.ඩී. ප්‍රේමරත්න
2.සුනිල් ටී. ප්‍රනාන්දු
3.පී්‍රතිරාජ වීරරත්න
4.යසපාලිත නානායක්කාර

16.මුන්ටාස් මහල් ලෙස හඳුන්වන්නේ
1.ශ්‍රී ලංකාවේ කතානායක නිල නිවෙසයි
2.ටජ්මහලට තවත් නමකි
3.ඉන්දියාවේ අගමැති නිල නිවෙසයි
4.එවැනි මන්දිරයක් නොමැත

17.කැපුවත් නිව්ගිනියාවේ පසුගිය සිකුරාදා ඇති වූ නාසිගුරානි තත්ත්වය නිසා රට අරාජික වී ඇති බව ජිල්ලබගඩියානු නායක රම්ලන් ඔටියනෝ පවසයි. මේ හේතුවෙන් එරටින් අප රටට ලැඛෙන ආධාරද සීමා වී ඇත.
ප්‍රශ්නය වැරැදියි

18.ලොව වේගවත්ම මිනිසා කවුද?
1.උසේන් බෝල්ට්
2.සනත් ජයසූරිය
3.සචින් තෙන්ඩුල්කාර්
4.මයිකල් ෂූමාකර්

සුපුන් රත්නායක

0 comments:

Post a Comment