ඔබ උපන් අවස්ථාවේ රාජයෝගයක් තිඛෙනා බව දෙමාපියන් දැනගන්නේ කොහොමද?
මම ඉපදුනාම අපේ තාත්තා මගේ ජන්ම පත්‍රය හදන්න මොරයාය ශ්‍රී නාගවනාරාම විහාරස්ථානයේ නායක හාමුදුරුවෝ ළඟට ගිහිල්ලා තිඛෙනවා. එතනදි නායක හාමුදුරුවෝ කියලා තියෙන්නේ මගේ කේන්දරය බොහොම බලවත්, එහි රාජයෝගයක් තිඛෙනවා කියලා, ඒ වෙලාවේ අපේ තාත්තා හිතලා තියෙන්නේ මම ජනපද නිලධාරියකු හෝ කෘෂිකර්ම නිලධාරියකු වැනි රජයේ නිලධාරියකු වේවි කියලා.
ඔබේ උපන් දිනය කවදාද?
මම උපන්නේ 1961 වර්ෂයේයි. මට වැඩිමහලු සහෝදරයින් දෙදෙනෙකු සිටිනවා ගාමිණි සහ ආනන්ද කියල. මම පවුලේ සිව්වෙනි දරුවා. ඒක සිද්ධවුණේ මට පෙර උපන් සහෝදරයා උපන්ගෙයිම මිය ගොස් තිබිම නිසයි. මම ඉපදුනේ මිණිපේ හඳගනාව කියන ගමේ. මට බාල සහෝදරයින් දෙදෙනකු සිටිනවා. කුමාර සහ නාලින්ද කියල. නාලින්ද මේ වන විට ජීවතුන් අතර නැහැ.
ඔබේ සම්පූර්ණ නම?
උප්පැන්න සහතිකයේ මගේ නම ලෙස සටහන් වෙන්නේ කුඩාබණ්ඩා තිස්ස අත්තනායක කියලා. අපේ තාත්තා තමයි මට නම තැබුවේ. ඔහුට ආසාවක් තිබිලා තියනවා ඔහුගේ නමෙන් කොටසක් දරුවන්ගේ නම්වල යොදන්න.
ඔබේ සහෝදරයන්ගේ නම්වලත් පියාගේ නමේ කොටසක් තියෙනවද?
නැහැ. අපේ ලොකු අයියා උපන් වේලාවේත් පියාට ඔහුගේ නමේ ඒ කොටස එකතු කරන්න අවශ්‍ය වෙලා තිබුණා. හැබැයි ඊට පෙර මවගේ නැගණියන් එයසිි්3විසින් අයියාගේ නම ලියාපදිංචි කර තිබුණා.
ඔබේ පියා?
මුතුබණ්ඩා අත්තනායක.
මව?
සොමිරාවති අත්තනායක.
ඔබේ පියා මිණිපේට ගියේ කොහොමද?
මගේ දෙමාපියන් මිණිපේ ව්‍යාපාරයේ පදිංචිකරුවන්. මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතා මිනිපේ ජනපදය පටන් ගත්තට පස්සේ එහි මුල්පදිංචිකාරයන්ගෙන් තමයි ඔවුන් පැවත එන්නේ. එහි දෙවන පරම්පරාවට තමයි ඔවුන් ඇතුළත් වුණේ. කෙසේ නමුදු මගේ පියාගේ මුල් ගම මෙහි නොවෙයි. පියාගේ උපන්ගම කටුගස්තොට - රණවන ග්‍රාමයයි. අම්මා මිණිපේමයි.
ඔහු මිණිපේ ජනපදයට එන්නේ කෙසේද?
තාත්තා මිණිපේට ගියේ රස්සාවක් හොයාගෙන. එහෙම ගිහින් මුලින් අත්උදව් වැඩ කරලා පසුව ගොවිතැනට සම්බන්ධ වෙන්නේ. මේ අතරේ අපේ පියාණන් වෙළෙඳාමටත් යොමු වෙලා තියෙනවා. කුඩා තේ කඩයක් හා සිල්ලර කඩයක් ආරම්භ කරමින්. ඒ අතර තමයි අපේ අම්මාව හමුවෙලා තියෙන්නේ.
ඔබ පාසල් ගියේ කොහේද?
මිණිපේ ප්‍රාථමිකයට තමයි මම මුලින්ම පාසල් ගියේ. ඉන්පසුව උඩුවාවල කනිෂ්ඨ විද්‍යාලයට කෙටිකාලයකට ඇතුළත් වුණා. විශ්වවිද්‍යාලයට පැමිණෙන තුරු මම අධ්‍යාපනය ලැබුවේ මොරයාය සංඝබෝධි විද්‍යාලයේයි. ඒ වගේම හඳගනාව මහා විද්‍යාලයේත් මා අධ්‍යාපනය ලැබුවා. ඒ කාලයේ සාමාන්‍ය පෙළ විභාගය පොදු සහතික පත්‍ර තිබුණේ නැහැ. මම මුහුණ දුන්නේ රජයෙන් මුල්වරට 1976 හඳුන්වා දුන් එන්.සී.ජී. විභාගයට. එය මම හිතන්නේ අවුරුදු දෙකක කාලයක් තමයි ඒ විභාගය පැවතුණේ. මම මේ විභාගය හොඳින් සමත් වුණා. ඒ නිසා උසස් පෙළ කිරීම සඳහා සංඝබෝධි මහා විද්‍යාලයට පැමිණියා. එම විභාගයෙන් සමත් වෙලා කැලණිය විශ්වවිද්‍යාලයට මාව තේරුණා.
පාසල් කිහිපයක ඔබේ ළමා කාලය ගතවුණේ කොහොමද?
අපේ ළමා කාලය හරිම දුෂ්කරයි. අපට අද වගේ පහසුකම් තිබුණේ නැහැ. ඒ කාලේ අපට සපත්තු තිබුණේ නැහැ. සෙරෙප්පු දෙකක් දාගෙන තමයි අපි පාසල් ගියේ. පාසල සඳහා හැතැප්ම දෙකක් පමණ පයින් යන්න ඕනේ. ඒ කාලයේ පාසල් තිබුණේ හුඟාක් ඈතින්. විශේෂ සිදුවීම් කියලා මට ගොඩක්ම දේවල් මතක නැහැ. යහළුවන් සමග මාගේ පාසල් ජීවිතය බොහෝම සුන්දරව පැවතුණා.
පාසල් ජීවිතයේ අමතක නොවන අත්දැකීම් එහෙම ඇති?
ඉස්කෝලේ යන කාලේ යහළුවන් සමග පාසලෙන් පැනලා යන අවස්ථා අපට ඕන තරම් තිබුණා. අපේ පළාත් ඒ කාලයේ නාගරික වෙලා තිබුණේ නැහැනේ. එක දවසක් ඉස්කෝලෙන් පැනලා ගිහින් රා බිලා එද්දි පාසලේ ගුරුවරයෙකුට හසු වෙලා අපිව පාසලෙන් එළියට දැම්මා. විදුහල්පතිවරයා අපේ තාත්තව ගෙනල්ලා තමයි නැවත මාව පාසලට ගත්තේ.
ඔබව පොලීසියෙන් දණගස්වලා තිබුණේ ඒ සිද්ධියට ද?
නැහැ. ඒක වුණේ වෙන සිද්ධියකදී. එක දවසක් අපේ යහළුවෙකුට අයෙකු පහරදීලා තිබුණා. එතනදී අපි කට්ටිය එකතුවෙලා ගිහිල්ලා ඒ මිනිහට ගහලා අපි ඔක්කොම දිව්වා. ඒ වෙලාවේ මම අහුවුණා. වෙන ගමකට ගිහිල්ලා තමයි මේ ගෝරිය සිද්ධ වුණේ. ඒ ගමේ මිනිස්සු මාව අල්ලගෙන ගිහිල්ලා පොලීසියට භාර දුන්නා. කටුගස්තොට පොලීසියට තමයි මාව අරගෙන ගියේ. පොලිස් නිලධාරීන් මාව කූඩුවට දැම්මේ නැහැ. ගෙදරින් එනකම් මාව දණගස්සවලා තිබ්බා. ගෙදරින් පොලීසියට ආවට පස්සේ පොතේ ලියලා මාව එව්වා. ඒ සිද්ධිය ඒ කාලයේ සමථ මණ්ඩලයට තමයි යොමුකළේ. සමථ මණ්ඩලයෙන් අවවාද කරලා එය සමථයකට පත් වුණා.
එහෙම බැලුවහම ඔබ දඩබ්බර සිසුවෙක්. පාසලේ ගුරුවරුන්ගෙන් මේ සම්බන්ධයෙන් ලැබුණු ප්‍රතිචාරය කොහොමද?
ඇත්තටම ඔව්. ගුරුවරු ඉතින් ඒ කාලයේ හරිම සැරයි. කොහොම වුණත් ඒ කාලයේ අපි ලේබල් ගැහිලා හිටියා නහයට අහන්නේ නැති කොල්ලෝ කියලා. ඉස්කෝලෙන් පනිනවා. නැතිනම් ගෝරි දාගන්නවා. ඒ මොනවා තිබුණත් අවසානයේ අපි හොඳට අධ්‍යාපනය කළ නිසා අපේ විභාග ප්‍රතිඵල හොඳයි. අපට ඒ කාලයේ අමතර පන්ති තිබුණේ නැහැ. එහෙම නොවුණත් මම එදා පන්තියේ පළවෙනියා හෝ දවෛනියා. හතේ පන්තියේදී පමණක් මම එක ලකුණකින් දෙවැනියා එයසිි්2වුණා. නැතිනම් මම ඉස්කෝලෙදී හැමදාම පන්තියේ පළවෙනියා.
පාසල් යන කාලයේ හිත ගිය ගැහැනු ළමයෙක් එහෙම හිටියේ නැද්ද?
එහෙම පොඩි පොඩි සම්බන්ධතා තිබුණා. නැත්තෙමත් නැහැ. හැබැයි මේවා එතරම් දුරදිග ගිය ඒවා නොවෙයි.
ඔබේ පවුල කෘෂි කර්මාන්තයට සම්බන්ධ පවුලක්. ඊට ඔබගේ දායකත්වය ලැබුණේ කොහොමද?
ඇත්තටම අපේ අම්මලට මිණිපේ පැත්තේ කිව්වේ දහපෑල් ගොවියෝ කියලා. ඒ කියන්නේ ජනපදය ආරම්භ කරන කොට ගොඩ මඩ ඉඩම් හිමි මුල් පරම්පරාවේ ගොවි පරපුරක්. ඒ නිසා අම්මගේ පැත්තේ අයට අලුතින් ඉඩකඩම් ලැබුණු අය. අපේ තාත්ත එහාට පිට ගමකින් පැමිණි නිසා මුල් කාලයේ ඉඩකඩම් තිබුණේ නැහැ. පසුකාලීනව අපේ පියා පොඩි පොඩි ව්‍යාපාරයන්ට අතගහලා තියෙනවා.
ඔබ විශ්වවිද්‍යාලයට ඇතුළු වූයේ මොන කාලයේද?
විශ්වවිද්‍යාලයට ආවේ 1981 දීයි. මම උසස් පෙළ ලිව්වේ 1980. වසර දහයකින් පමණ පසු සංඝබෝධි විද්‍යාලයෙන් විශ්ව විද්‍යාලයට තේරුන මුල්ම සිසුවා වූයේ මම. මම වාණිජ විෂය ධාරව තමයි උසස් පෙළ හැදෑරුවේ. විෂයන් හතරටම සම්මාන තිබුණා. කැලණිය විශ්වවිද්‍යාලයට තේරිලා ආවහම මම නැවතුනේ කිරිබත්ගොඩ පැත්තේ අපි දන්න හඳුනන නිවසකයි. මට එදා හොස්ටල් ලැබුණේ නැහැ.
කොහොමද විශ්වවිද්‍යාල ජීවිතය?
මම ශිෂ්‍ය ව්‍යාපාරවලට සම්බන්ධ වෙලා කටයුතු කෙරුවා. ඒ කාලයේ තමයි අධ්‍යාපන ‘ධවල පත්‍රිකාව’ ආවේ. මම ඒ අධ්‍යාපන ධවල පත්‍රිකාවට පක්ෂව තමයි හිටියේ. සමවාදී ශිෂ්‍ය සංගමය එදා සහාය දැක්වුවේ එක්සත් ජාතික පක්ෂයට නිසා අපිත් එයට සහාය දැක්වුවා. නමුත් ධවල පත්‍රිකාවේ තියෙන්නේ මොනවද කියලා හොයන්න ගියේ නැහැ. යූ.එන්.පී. නිසා ධවල පත්‍රිකාවට සහාය දැක්වුවා.
ශිෂ්‍ය ව්‍යාපාර ක්‍රියාකාරිකයෙකු ලෙස පවතින ආණ්ඩුවේ දේශපාලනඥයන්ගේ ඇසුර ඔබට ප්‍රියමනාප වෙන්න ඇති?
ඔව්.
එදා අධ්‍යාපන හා යෞවන කටයුතු ඇමැතිවරයා රනිල් වික්‍රමසිංහ මහත්තයා. ඒ කාලයේ අපිව භාරව හිටියේ කර්මාන්ත ඇමැති හා කැලණිය මන්ත්‍රී වූ සිරිල් මැතිව් මහත්තයා. රටේ විශ්ව විද්‍යාල ටික එදා එක එක ඇමැතිවරුන් භාරව හිටියා. කැලණිය විශ්ව විද්‍යාලය බාර වෙලා තිබුණේ රනිල් වික්‍රමසිංහ මහත්තයට සහ සිරිල් මැතිව් මහත්තයට..... ඒ නිසා අපිට නිතර නිතර ඒ දෙන්නව මුණ ගැහෙන්න සිද්ධ වුණා. ඒ කාලේ එය ඉතාම ඉහළ වැඩක්. රටේ ඇමැතිවරු හමුවෙන්න ලෙහෙසියෙන් බැහැනේ. එවන් අවස්ථාවක අපට ලැබුණු මේ අවස්ථාව ගැන අපි ඉතා ආඩම්බර වුණා.
ඔබ නියෝජනය කළේ කුමන ශිෂ්‍ය ව්‍යාපාරයද?
ඒ කාලේ විශ්වවිද්‍යාලයේ තිබුණා සමවාදී ශිෂ්‍ය සංගමය කියලා එකක්. මම එහි සාමාජිකයෙකු ලෙස බැඳිලා ශිෂ්‍ය ව්‍යාපාරයේ ක්‍රියාකාරිකයෙකු වෙලා පසුව කෙටිකලකින් එහි සභාපතිවරයා ලෙස පත්වුණා. 1984 සහ 1985 වර්ෂ දෙකේම සමවාදී ශිෂ්‍ය පෙරමුණේ සභාපති වුණේ මම. ඔය කාලේ තමයි ජාතිවාදී කලකෝලාහල ඇතිවුණේ්. ඒ කාලයේ මම විශ්ව විද්‍යාලයේ ඉහළ වහලක හිඳගෙන පාරේ යන වාහනවලට ගහනවා ගිනි තියනවා බලාගෙන හිටියා.
විශ්වවිද්‍යාල දේශපාලනය නිසා මට හුඟාක් අය හඳුනා ගන්න ඉඩ ලැබුණා. රනිල් වික්‍රමසිංහ, ගාමිණි දිසානායක වැනි අය හඳුනා ගත්තේ එහෙමයි. ඒ කාලයේ අගමැති වුණේ ප්‍රේමදාස මහත්තයා. මම ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙකු ලෙස අවස්ථා දෙක තුනකදී ප්‍රේමදාස මහත්තයාව හමුවුණා. ශිෂ්‍ය සංගම්වල නායකයෝ ගෙනල්ලා කතා කිරීම නිසා මේ සාකච්ඡාවලට යන්න ලොකු තරගයකුත් තිබුණා. ලලිත් - ගාමිණි අතර තරගයක් තිබුණ නිසා ඔවුන් අපිව ගෙන්නලා කතා කරනවා. කන්න බොන්න දෙනවා. ඉතින් අපිත් හරිම ආසයි මේවට සම්බන්ධ වෙන්න.
විශ්ව-විද්‍යාලයේදී ඔබ උපාධිය ලබා ගත්තේ කුමන විෂය ධාරාවෙන්ද?
මම වාණිජවේදී විශේෂ උපාධිය තමයි ලබා ගත්තේ. එයින් මම සාමාන්‍ය සාමාර්ථයක් තමයි ලබා ගත්තේ. ඊට හේතු වූයේ බාහිර දේවල්වලට යොමුවීමයි. බාහිර කටයුතු ලෙස අපි කළේ දේශපාලනයේ නිරතවීමනේ. ඒ නිසා මට වෙනත් අධ්‍යාපනයක් කරන්න අවස්ථාව තිබුණේ නැහැ. පූර්ණකාලීනව මම දේශපාලනය කළා. ඒ අතර අධ්‍යාපන කටයුතු කර උපාධියත් සම්පූර්ණ කළා.
රැකියාවක් සොයා ගන්න මේ කාලයේ සිතුණේ නැද්ද?
උපාධිය අවසන් වීමෙන් පසුව මම පරිපාලන සේවා විභායට ලිව්වා. පරිපාලන විභාගයට මම ලිව්වේ 1988 දීයි. ඒත් සමගම මම 1989 මැතිවරණයට තරග කරන්නත් අවස්ථාව ලැබුණා. දේශපාලනය කරලා උපාධිධාරියෙකු ලෙස සිටියදී ඒ කාලයේ අපේ පක්ෂයේ මහලේකම් හර්ෂ අබේවර්ධන මහත්තයා දවසක් කතා කරලා කිව්වා උපාධිය අවසන් නිසා ශිෂ්‍ය සංගමයේ දිගටම වැඩ කරන්න ‘සිරිකොත’ට එන්න කියලා. ශිෂ්‍ය ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් වුණේ අනුර රත්නායක. මම එයාගේ යටතේ පරිපාලන ලේකම් ලෙස කටයුතු කළා. එතන වැඩකටයුතු කරද්දී මාසේ පඩිය ලෙස හම්බ වුණේ රුපියල් පන්සීයයි.
ඔය කාලයේදීද ඔබ ‘සිරිකොතේ’ පූර්ණකාලීනව නතර වෙලා හිටියේ?
ඔව් මේ කාලයේ තමයි අපි කොල්ලුපිටියේ තිබුණ සිරිකොත පක්ෂ මූලස්ථානයේ නවාතැන් ගත්තේ. මොකද අපි දිවා රෑ දෙකේදීම පක්ෂයේ පූර්ණකාලීනයෝ ලෙස කටයුතු කළා. අපි ඉතින් රෑ වුණාම මොනවා හරි කාලා පැදුරක් හරි කාඩ්බෝඩ් කෑල්ලක් හරි දාගෙන නිදා ගන්නවා. ඒ කාලයේ අපට උදව් කළේ එදිරිවීර ප්‍රේමරත්නයි. ඔහු එදා රක්ෂණ සංස්ථාවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ. ඉතින් අපට වාහන එහෙම දුන්නේ ඔහුයි. මාත් සමග ඔය ආකාරයට සිරිකොතේ නතර වෙලා හිටපු අය අතර හිටපු ඇමැතිවරයෙකු වන වජිර අබේවර්ධන, දකුණු පළාත් සභා මන්ත්‍රීවරයෙකු වූ අශෝක ධනවංශ වගේ කිහිප දෙනෙකු හිටියා.
සිරිකොතේ සිටි ඔබ අමාත්‍යාංශ නිලධාරියෙකු ලෙස මාරු වෙන්නේ කොහොමද?
පක්ෂයේ වැඩකටයුතු කරගෙන ඉන්න කොට මට දවසක් පෙස්ටස් පෙරේරා ඇමැතිතුමා හම්බ වුණා. එතුමා ඇහුවා එයාට වෙන්නප්පුවට හොඳ මහජන සම්බන්ධතා නිලධාරියෙකු අවශ්‍ය නිසා මට එහි ඇවිල්ලා වැඩ කරන්න බැරිද කියලා. ඒ සම්බන්ධය ඇතිවුණෙත් සුජාතා ධර්මවර්ධන කියලා කාන්තා පෙරමුණේ නායක සාමාජිකාව නිසයි. දවසක් සිරිකොතේ සිටියදී එයා තමයි මට පෙස්ටස් පෙරේරා ඇමැතිතුමාව හඳුන්වා දුන්නේ. ඉතින් එතුමා ළඟ වැඩට ගියහම මට උපාධිධාරි පත්වීමක් දුන්නා ධීවර සංස්ථාවේ විධායක ශ්‍රේණියේ රැකියාවකට. මට අමාත්‍යංශයෙන් කාර් එකකුත් ලැබුණා. හැබැයි මට වැඩ කරන්න සිද්ධ වුණේ සංස්ථාවේ නොව වෙන්නප්පුවේයි. පත්වීම් ලිපිය රැගෙන ගියහම මට වාර්තා කරන්න කිව්වේ වෙන්නප්පුවේ ඇමැතිතුමාගේ කාර්යාලයටයි.
ඔබ පෙනී සිටි පරිපාලන සේවා විභාගයේ ප්‍රතිඵලවලට මොකද වුණේ?
මට ඔය රස්සාව හම්බ වුණේ පරිපාලන සේවා විභාගය ලියලා ඉන්න කාලයේයි. පරිපාලන විභාගයේ ප්‍රතිඵල එනකොට මම පාර්ලිමේන්තුවට තේරී පත්වෙලා. මම පරිපාලන සේවා විභාගයෙන් සමත් වෙලා කියන පණිවුඩය තමයි මට එදා ලැබුණේ.
ඔබත් සමග පරිපාලන සේවා විභාගය ලියලා සමත් වුණ අය මේ වන විට කුමන තනතුරුවලද සිටින්නේ?
කැලණිය විශ්වවිද්‍යාලයේ ඉඳලා මාත් සමග පරිපාලන විභාගය ලියපු කෙනෙක් තමයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් එච්.එස් හරිස්චන්ද්‍ර. රේගු අධ්‍යක්ෂ ජගත්. පී. විජේවීර මට වඩා එක අවුරුද්දක් කැම්පස් එකේ ජ්‍යෙෂ්ඨයෙක්. නුවරඑළිය දිසාපති ජනාධිපති අතිරේක ලේකම් ගාමිණි සෙනරත් යන අය පරිපාලන සේවා විභාගය ලිව්වේ එක කාලයේයි. විභාග කොමසාරිස් පුෂ්පකුමාර අපි සමග විශ්වවිද්‍යාලයේ සමකාලීනව හිටපු කෙනෙක්.
ලසන්ත වීරකුලසූරිය
ඡායාරූප - නිමල්සිරි එදිරිසිංහ
9:54 AM
Unknown


Posted in: