අම්මගෙ කෙසෙල්මුව මාළුව - පියසේන ගමගේ

මම මගේ ජීවිතයේ රසම රස කෑම වේල භුක්ති වින්දේ අපේ මහගෙදරදි. ඒ මගේ අම්මා හදලා දෙන කෑම වේල. ලංකාව පුරාම ගිහිල්ලා තිබුණත් කවදාවත්ම අම්මා උයලා පිඟානට ඛෙදලා අතටම ගෙනත් දෙන බත් වේලේ රස දැනිලා නෑ. ඒ නිසා කොහේ ගියත් කටට රහට කෑමක් ගන්න තිබුණා නම් කියලා හිතෙන හැම මොහොතකම මට ගෙදර මතක් වෙනවා. ඒ දවස්වල අපේ ගෙදර හදන කෑමක් තිබුණා. ඒ තමයි ‘කෙසෙල් මුව’ වෑංජනය. කෙසෙල් මල් කියන්නෙත් අන්න ඒවට. අම්මා කොස් ඇට, හාල්මැස්සෝ වගේ තව මොනව හරිත් එකතු කරලා කෙසෙල් මුවේ හරිම රහට උයනවා. අදටත් මම හරි ආසයි කෙසෙල් මුව වෑංජනයට. ඒවා ඒ තරම් රසට කන්න නම් ඉතින් ගමට යන්නම ඕන.
අම්මගෙ කෑම වේලම තමයි - කුමාර වෙල්ගම
ඔව් ඉතිං... මට රසම රසට උයලා දීලා තියෙන්නේ අපේ අම්මා තමයි. අපේ අම්මාට දැන්නම් හුඟාක් වයසයි. කල්පනාවත් මදි. ඒත් අම්මාගේ අතින් හදලා දෙන කෑම වේලේ රස නම් තවමත් තරුණයි. ගෙදර ඉන්න කාලේ අම්මා හදන කෑම වේලක්ම කන්න මම ආසයි. සාමාන්‍යයෙන් මං ඉතින් හැම කෑම ජාතියකටම වගේම පෙරේතයි. අම්මා හැදුවොත් ඕන කෑමක් මම තමයි වැඩිපුරම කන්නේ. ඇත්තම කිව්වොත් මගේ බිරියගේ කෑම වේලටත් වඩා අම්මාගේ අතින් හදන කෑම රහයි. මෙහෙම කිව්වම එයාටත් දුක හිතෙයි. බිරියත් හරි රසට උයනවා. ඒත් අම්මගේ කෑම ඊටත් වඩා රසයි. සමහර විට ආදරේ ගොඩාක් එකතුවෙන නිසා වෙන්න ඇති. මේ වෙනකොට ගෑනු පාර්ශ්වයේ බොහෝ දෙනෙක් මට කන්න නම් දීලා තියෙනවා. හැබැයි ඒ එක කෑමකවත් රස මතක නෑ. අම්මාගේ කෑම වේලේ රස විතරයි මතක.
බිත්තර එක්ක ස්වීට් කෝන් දාපු සුප් එක - උදිත ලොකු බණ්ඩාර
නෝනගේ කෑම වේලට තමයි ඉතින් හුඟාක්ම කැමැති. අපේ නෝනා මට බඳින්න කලින් හදලා දුන්න කෑම වේලක රස මට අද වගේ මතකයි. එදා කෑවා කෑවමයි බැන්දට පස්සේ තවමත් ඒ තරම් රස කෑම වේලක් එයා මට හදලා දීලා නෑ. (හයියෙන් සිනාසෙයි) බඳින්න කලින් අපේ නෝනා මට අර මැගී සුප් පැකට් තියෙන්නේ .... අන්න ඒ පැකට් එකකට බිත්තර දාලා ස්වීට් කෝන් දාලා ඒක උණු වතුරෙන් දිය කරලා ගෙනල්ලා දුන්නා. මම ඒ කෑම වේලට මාට්ටු වුණා. මම හිතුවා හැමදාම ඒ වගේ රහට කෑම ලැඛෙයි කියලා. හැබැයි දැන්නම් ඒ වගේ රහට ලැඛෙන්නේ නෑ. කොහොම වුණත් එදා කාපු ඒ කෑම වේල අමර”ය කෑම වේලක් වුණා.
සුදු බත් කිරිකොස් එක්ක කරවල බැදුම - ශාන්ත බණ්ඩාර
මගේ ගම දඹදෙණිය. අපේ ගමේ මහගෙදර ඉන්න කාලේ තමයි ඉතින් මම රහටම කෑම කෑවේ. බඳින්න කලින් නම් මම මගේ අම්මා උයන බත් කන්න හරි ආසයි. හැබැයි බැන්දට පස්සේ බිරියටත් ඒ තරම්ම රසට උයන්න පුළුවන් කියලා දැනගත්තා. ඇය පිළියෙල කරලා දෙන කෑම වේලට දැන් මම ඉතාම කැමැතියි.
සාමාන්‍යයෙන් මම ගෙදර ඉන්නවා නම් බිරියට ඇවිටිලි කරලා හදවාගන්න කෑම වේලක් තියෙනවා. ඒ තමයි සුදු බත්, කිරි කොස්, කරවල බැදලා, මිරිස් කරල් ලුණු දාලා බැදලා, කූනිස්සෝ දාලා හදපු තිබ්බටු මැල්ලුම එක්ක වැව් කොරලි හොදි. බැරි වෙලා හරි කිරි කොස් තිබුණේ නැත්නම් ඒ වෙනුවට වට්ටක්කා හොදි හරි මඤ්‍ඤොක්කා හොදි හරි හදවා ගන්නවා. මේ කෑම වේල කවදා කෑවත් මට නම් හරිම රසයි.
පොල් සම්බෝලෙයි කරවල හොද්දකුයි බතුයි - විමල් වීරවංශ

මුලින්ම පිටරට ගිහිල්ලා ඉඳලා දවස් 10ක් විතර එක දිගට යුරෝපයේ කෑම කාලා, ලංකාවට ආපු දවසේ කරවල හොද්දකුයි, පොල් සම්බෝලෙකුයි බතුයි කෑවා. ඒක තමයි මට මතක ඇති කාලෙක කාපු රසම කෑම. අපිට එක එක රටවල යන්න ලැබුණාට කැමැතිම කෑම කන්න ලැඛෙන්නේ නෑනේ. එහෙම ගියාම තමයි අපිට අපේ රටේ කෑමවල අගය දැනෙන්නේ. මගේ බිරිය තමයි මේ ප්‍ර”ත ආහාර වේල මට හදලා දුන්නේ. තවමත් ඒ තරම් රස ආහාර වේලක් ෆයිව් ස්ටාර් හොටෙල් එකකින්වත් මට කන්න ලැබිලා නෑ.
කිරිහොදි කට්ට සම්බල් මාළු මිරිස් ගෝවා - හේමාල් ගුණසේකර
ගෙදර උයන කෑම කන්න තමයි ඉතින් වැඩිපුරම කැමැති. මගේ අම්මගේ කෑමයි බිරියගේ කෑමයි ගත්තොත් රස ගුණ දෙවිදියක්. මං ඒ දෙවිදියටම හරි කැමැතියි. මොකද අම්මයි බිරියයි කියලා වෙනසක් නෑනේ. බිරියගේ කෑම කන්න බැරි නම් අපිට පවුල් කන්නත් බෑනේ. මම වැඩිපුරම කැමැති බත් කන්න. කිරිහොදි, කට්ට සම්බල්, මාළු මිරිස්, ගෝවා, චිකන්, තෝර මාළු, පරා මාළු, තලපත් මාළු මේ තමයි මගේ මෙනු එක. අම්මයි බිරියයි දෙන්නම මේ මෙනු එක දන්නවා. ඉතින් එයාලා මට කෑම හදනවා නම් මේවා තමයි හදලා දෙන්නේ. කොහේ ගියත් මට මේවා තියෙනවා නම් බඩ පිරෙන්න කන්න පුළුවන්.
නෝනා හදන සම්බෝලයි බතුයි - සුසන්ත පුංචිනිලමේ

මං නම් කැමැතිම පොල් සම්බෝලයි බතුයි කන්න තමයි. ඒකත් මගේ බිරිය හැදුවොත් තමයි. ගොඩක් වෙලාවට ගෙදර හදන කෑම වේලේ පොල් සම්බෝල නම් වරදින්නේ නෑ. මොන හේතුවක් නිසාද මන්ද කොයිතරම් වෑංජන, මස් මාළු තිබුණත් මම කැමැති පොල් සම්බෝල කන්න. දැන් මම පදිංචිවෙලා ඉන්නේ ත්‍රිකුණාමලයේ. ඉතින් හැමදාම උදේ පාන්දරට ගෙදරින් පිටත් වෙන්නේ බත් කාලා. ඊට පස්සේ දවල්ට ආයෙ කෑමක් වැටෙන්නේ නෑ. කීය වුණත් රෑ වෙලා ගෙදර එනකල් මම පිටින් කන්නේ හරි අඩුවෙන්. ඉන්නම බැරි වුණොත් මිසක් පිටින් කෑම කන්නේ නෑ. ගෙදර හදන කෑම කන්න ඒ තරම් ඇබ්බැහි වෙලා. කරදරේකුත් නෑනේ. ඉතින් පොල් සම්බෝලයක් හදලා බත් උයලා දුන්නොත් මට ඉහටත් උඩින්.
ම්... මේකයිනේ වැඩේ. මං සාමාන්‍යයෙන් කෑම රස නැත්නම් කන්නේ නෑ. ඒ නිසා මම කන හැම කෑමක්ම හරිම රසයි. විශේෂයෙන්ම මගේ බිරිය හදන කෑම තමයි ගොඩක්ම රසට දැනිලා තියෙන්නේ. විශේෂයක් කියලා නෑ. එයා මොන කෑම හැදුවත් හරි රසයි. කන්න පුළුවන් බඩ පිරෙනකල්. අනෙක් කෙනා තමයි අපේ අම්මා. අම්මා හදන කෑමත් මම හරිම ආසාවෙන් කනවා. ඒ රස කොහෙන් කෑවත් දැනිලා නෑ. අම්මයි බිරියයි දෙන්නම උයන්න හරි දක්ෂයි. සමහර වෙලාවට බිරිය අම්මාවත් අභිභවා යන වෙලාවල් තියෙනවා. හැබැයි අම්මටම විතරක් හදන්න පුළුවන් කොස් - පොළොස් වගේ කෑම නම් අභිබවා යන්න ඇයට පුළුවන්කමක් නෑ. කොහොම හරි මේ දෙන්නම නිසා කටට රහට කන්න මම පින් කරලා තියෙනවා.
11:38 PM
Unknown






0 comments:
Post a Comment