දේශපාලනයට යොමු වුවද කලාත්මක හැඟීම් පිරුණු මෙරට දේශපාලකයන් අතරින් විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන ඇමැති ඩිලාන් පෙරේරා මහතා දේශපාලනයත් කලාවත් දකින අයුරු මෙසේ විමසමු.
කලාකරුවකු කියන්නේ මොන වගේ පුද්ගලයෙක් ද?
මගේ දැනුමේ හැටියට සැබෑ කලාකරුවෙක් කියන්නේ ඉතාම හිත හොඳ මනුස්සයෙක්.
ඔබ කලාකරුවකු ද?
මම හිතන හැටියට අද ඉන්න සමහර කලා කරුවන්ට වඩා මම කලාකරුවෙක්.
ඒ කියන්නෙ ඔබ හිත හොඳ මිනිහෙක්?
එහෙනම් ඔබට සෞන්දර්ය විෂයන් එහෙමත් හොඳට පිහිටා ඇති?
මම සෞන්දර්ය විෂයන්ට හරිම කැමැතියි. ඒත් මට ඒවා බෑ. මට චිත්‍ර, සංගීතය වගේ විෂයන් බැරි නිසා අන්තිමට දහයේ විභාගෙට මම කළේ නර්තනය.
වෙස් බැන්ද ද?
වෙස් නම් බඳින්න බැරි වුණා. ඒත් මම විභාගේ හොඳට සමත් වුණා. ඒ වගේම හොඳට කස්තිරම් අල්ලන්න දන්නවා. දේශපාලනේ වුණත් එහෙමනේ?
උඩරට නර්තනය විතර ද හැදෑරුවේ?
හැදෑරුවෙනම් ඒ විෂය තමයි හැබැයි මට හොඳට බයිලා නටන්න පුළුවන්. පාටිවලදි බයිලා තරගවලට නටලා මම දිනලත් තිබෙනවා.
සින්දු කියන්න බැරි වුණාට ගීත රස විඳින්න කැමැති ද?
අනිවාර්යයෙන්ම. මම සින්දුවලින් වැඩියෙන්ම කැමැති විරහ ගීතවලට. මොකද මම බූට් තුන හතරක්ම කාලා තියෙනවා. මම තරම් බූට් කාලා අඬපු කෙනෙක් ලෝකෙම නැතුව ඇති. ඒ දුක් විඳින වෙලාවල සමහර විරහ ගීත හදවතින්ම වින්ද නිසා මම ඒවට කැමැතියි. අද නම් මම ආදරය සතුටින් විඳිනවා. ඒත් අර ගීතවලට තමයි කැමැති.
මොනව ද ඒ ගීත?
මේ අයුරින් අපි සංසාරේ, මංමුළා වී පාර සොයාගෙන වගේ ගීත මගේ හිතට ළංවුණා හුඟාක්.
විරහ ගීතවලට විතරම ද කැමැති?
කොහොම හරි සිංහල සින්දුවලට විතරයි. මොකද මම ඒවා රස විඳින්න නම් අර්ථය තේරෙන්න ඕනැ. සමාජ ප්‍රශ්න හොඳට හෙළි කරන “මාස්ටර් සර්”, තව “උතුරු කොණේ නුඹ හිනැහෙන්” වගේම සෝබාව දේ මෙපුර නාට්‍ය ගීතයටත් කැමැතියි.
ඒ කියන්නේ නාට්‍යයත් හොඳට බලනවා.
මම උසස් පෙළ කරලා නීති විද්‍යාලයට තේරෙන තුරු විවේකයෙන් හිටි කාලේ මාසෙට පික්චර් සියයකුයි නාට්‍ය 51 යි බැලුවා. ඒ කාලේ මම පිච්චර් පිස්සෙක් වගේම නාට්‍ය පිස්සෙක්.
නාට්‍ය බලපුවා මතක ද?
හොඳට මතකයි. ඉඩම, රන්කඳ, කැලණි පාලම, මූදු පුත්තු, සෙක්කුව, විකෘති ඔහොම 51 ම කියන්න පුළුවන්. අනෙක් අතට පැරැණි නාට්‍යවලින් මනමේ, සිංහබාහු, වගේ ඒවා අපි කොහොමත් බලනවානේ.
දැන්?
දැන්නම් වෙලාවක් නැහැ. ඇත්තටම. අපේ වේදිකා නාට්‍යවල පුනර්ජීවයක් ඇතිවුණු කාලයක් තිබුණා. ඒ කාලයයි මගේ විවේක කාලයයි එක කාලේ ආව නිසයි මට ඒ අවස්ථාව ලැබුණේ.
එතකොට චිත්‍රපට මතක ද?
බලපු ශාලාවත් එක්ක මතකයි. හිඟන කොල්ලා බැලුවේ රත්මලානේ විජිත එකේ. ඒ පොතත් මම කියවලා තියෙනවා. සංගීතා මානෙල් මොරටුව. ඔය විදිහට කියන්න පුළුවන්. එකම චිත්‍රපටය හතර පස් වතාවක් බලලා තිබෙනවා. ‘හතර දෙනාම සූරයෝ’ චිත්‍රපටය මම 5 වතාවක් බැලුවා. බඹරු ඇවිත්, පළඟැටියෝ. දෙවියනි ඔබ කොහිද බලලා මට ඇඬුණා. චිත්‍රපට බලද්දි මට ඇඬෙන්නේ මම ඒවායේ ජීවත්වන නිසා. මම වැඩියෙන්ම කැමැති චිත්‍රපටය ‘වල් මත් වූවෝ.’
කැමතිම නළු නිළියන්?
මම දැක්ක දක්ෂම කැමතිම නිළිය මාලනී ෆොන්සේකා. නමුත් පුංචි කාලේ ඉඳන් මගේ කාමරේ පුරා එල්ලගෙන හිටියේ ගීතා කුමාරසිංහගේ පින්තූර. තරුණ කාලේ ඉතිං සරාගී පෙනුම තිබෙන නිළියන්ට ඕන කෙනෙක් කැමැතිනේ. එක උපන් දිනේකට ගීතාගෙන් තිළිණයක් කියලා එතුමියගේ කැලැන්ඩරයක් අපේ ගෙදරට ආවා. මම හිතුවේ ඇත්තටම ඇය එවන්න ඇති කියලා. පස්සේ බලද්දි යාළුවෝ තමයි එහෙම කරලා තිබෙන්නේ.
මම අයිරාංගනී සේරසිංහ මහත්මියටත් කැමැතියි. පුංචි තිරේ නම් චාන්දනි සෙනෙවිරත්න.
කැමතිම නළුවන් ගාමිණි ෆොන්සේකා. සිරිල් වික්‍රමගේ, අමරසිරි කලංසූරියටත් මම හරි කැමැතියි. ඒ වගේම විජය කුමාරණතුංගට කැමැති නළුවෙක් හිතහොඳ මිනිහෙක් විතරක් නොවේ දේශපාලනයේ උඩුගං බලා ගිය චරිතයක් නිසා.
කැමැතිම නළු නිළියන් මුලින්ම සජීවීව හමුවුණු වෙලාවේ?
ඇත්තෙන්ම මාලනි ෆොන්සේකා මහත්මිය පාර්ලිමේන්තුවට ආවාම මම හරි සතුටු වුණා. ඇය සමඟ එකට ඉඳගන්න ලැබෙන නිසා. ගීතා කුමාරසිංහ මහත්මිය මම මුලින්ම දැක්කේ මම ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති කාලේ ‘සරසවි’ සම්මාන උලෙළකදී මගේ අතින් ඇයට සම්මානයක් ලබා දෙන්න වුණ වෙලාවෙයි. ඒ වෙලාවේ මම ඇයට කීවා මේ අවස්ථාව මට භාග්‍යයක් කියලා.
කැමැතිම පොත?
මැක්සිම් ගෝර්කිගේ ‘අම්මා'. ඒ පොත කී පාරක් කියෙව්වත් මදි. මම ටී. බී. ඉලංගරත්නගේ පොත්වලටත් හරි කැමැතියි. ඒත් දැන් මට පොත් කියවන්න වෙලාවක් නැහැ.
ටෙලි නාට්‍ය බලනව ද?
ඔව්. ගෙදර ගියාම විවේක තිබෙන වේලාවට බලනවා. ඒත් එක දිගට නෙවෙයි. හැබැයි ඉතිං අද බලපු ටෙලි නාට්‍යය ලබන මාසේ කොටසක් බැලුවත් කතාවට බාධාවක් නෑ. මොකද ඒ මාසෙම අඬනවට වඩා දෙයක් කෙරිලා නෑනේ. ඒ කාලෙනම් නළු නිළියන් අඬද්දි අපටත් ඇඬෙනවා. ඒත් දැන් ඔවුන් අඬද්දි අපට හිනා යනවා.
ඔබත් නළුවෙක්නේ?
එකම එක වතාවකට. එය අහම්බයක්. රූපවාහිනී වැඩසටහනකදී මගෙන් ඇහුවා රඟපාන්න කැමැති නැද්ද කියලා. මම කීවා අවස්ථාව දුන්නොත් කරනවා කියලා. ඒක අහගෙන හිටපු දයාරත්න රටගෙදර මට කීවා ඔහුගේ පළමුවැනි චිත්‍රපටයේ මට අවස්ථාව දෙනවා දෙනෝදාහක් ඉදිරියේ කියූ දේ කරන්න කියලා. ‘නිල් දිය යහන’ චිත්‍රපටයේ මට ගුරුවරයකුට රඟපාන්න වුණේ ඒ විදිහටයි. ටෝනි රණසිංහ, සනත් ගුණතිලක වගේ ප්‍රවීණයන් සමඟ එවැනි අවස්ථාවක් ලැබීම ගැන මම සතුටු වෙනවා. ටෝනි රණසිංහ මහත්මයා මට කීවා පළමුවරට රංගනයේ යෙදෙන්නකු හැටියට චරිතයට සාධාරණයක් කළා කියලා.
ඒ ඔබ ඇමැතිවරයකු නිසා ද?
නෑ. ටෝනි රණසිංහ මහත්මයා ඔය එහෙන් මෙහෙන් රඟපාන නළු බට්ටෙක් නොවේ නිසා මම ඒ කතාව පිළිගන්නවා. ඒත් මගේ පළමුවැනි හා අවසාන රංගනය ඒක.
ඒ ඇයි?
මට තේරුණා රංගනය කියන්නේ අප බාහිරින් බලනවාට වඩා දුෂ්කර කාර්යයක් කියලා. මම ආයේ රඟ නොපාන්නේ සැබෑ නළුවන්ට අසාධාරණයක් නොකළ යුතු නිසයි.
ඔබේ පවුලේ අය බලාපොරොත්තු වුණේ ඔබ දේශපාලකයකු වෙයි කියලා ද?
නැහැ. තානාපතිවරයකු වෙයි කියලා. මොකද මම පරිපාලන සේවා විභාගයයි, විදේශ සේවා විභාගයයි සමත්වෙලා සම්මුඛ සාකච්ඡාවට යන්න හිටියේ.
ඒත් අපේ තාත්තාගේ දේශපාලනය හා නිවසේ තිබුණු පසුබිම නිසා. මම දේශපාලනයට යොමු වුණා. යූඑන්පී මර්දන, ජේවීපී තර්ජන වගේම ශ්‍රීලනිපේ වර්ජන මැද්දේ අපේක්ෂකයන් සොයා ගැනීම ලාහට ගෙම්බො එකතු කරනවා වගේ වැඩක්. මමත් ඒ ලාහට අහුවෙච්ච ගෙම්බෙක්.
සෞන්දර්යය මිනිසකුට ඕනෑම ද?
අපි පිරිමි හැටියට ගැහැනියක දිහා බලන්නේ සෞන්දර්යයක් ඒ රූපේ තිබෙන නිසානේ. නැත්නම් අපේ සමහරු වගේ පිරිමි රූප දිහාම බලන්න තිබුණනේ. ඒ නිසා සෞන්දර්යය කියන එක මනුෂ්‍යයකුට අත්‍යවශ්‍යයි. නැත්නම් එතන ජීවිතයක් නෑ.
9:37 PM
Unknown

0 comments:
Post a Comment