අපි අද ජීවත් වෙන්නේ සිංහල බෞද්ධ ජනතාව නිසා - ඉශාග් බෙග් - ~ niruwatha

Sunday, May 18, 2014

අපි අද ජීවත් වෙන්නේ සිංහල බෞද්ධ ජනතාව නිසා - ඉශාග් බෙග් -

මේ උදා වී ඇත්තේ අල්හාජ් මොහිදීන් බෙග් ගායකයාගේ කාලයයි.වෙසක් මාසයේ සිට ඇසල මාසය දක්වා ඔහු ගැයූ ගීත කිහිපයක් නිතර නිතර අපට අසන්නට ලැබේ. බුද්ධං සරණං ගච්චාමි ගීතයත් බුදුන්ගේ අමා ධර්මේ ගීතයත් දශක කිහිපයක් තිස්සේ පොසොන් ඇසල යන මාසයන් තිස්සේ තේමා ගීතය බඳුව සෑම ගුවන් විදුලි නාලිකාවකමත් තොරණ, දන්සල් හි ශබ්ධ විකාශන යන්ත්‍ර වලිනුත් වාදනය වේ.ඔහු මියගොස් දශකයකට වැඩි කාලයක් ගත වුනද තවමත් ඔහු ගැයූ ගීත වල ජනප්‍රියත්වය අඩුවක් නැත.ඒ නිසා ප්‍රසංග වේදිකාවේද තවම මොහිදීන් බෙග් ගායකයාගේ ගීත වලට හොඳ ඉල්ලුමක් ඇත.
එම ඉල්ලුම සපුරා ලන්නට ඔහුගේ පුතෙකු වන ඉෂාක් බෙග් එක්ව සිටී.තම පියාගේ හඬට සමානව ගීත ගයන්නට ඉශාක්ට හැකිය.

"ඇත්තටම මම ගායකයෙක් වන්නට හිතුවේ නැහැ.මාගේ පියාත් මම ගායකයෙක් වෙයි කියා හිතුවේ නැහැ.මම සහිරා විද්‍යාලයේ ඉගෙනුම ලබන කාලයේ පාසල් ක්‍රිකට් කණ්ඩායමේ සිටිය දක්ෂ පන්දු යවන්නෙක් උනා.ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරූ අර්ජුන රණතුංග, හෂාන් තිලකරත්න, ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් මගේ හොදම යාළුවන්.එයාලත් හිතුවේ මම ශ්‍රී ලංකා කණ්ඩායමට එයි කියලා.නමුත් පියාගේ හදීසි අභාවයත් සමග මට තාත්තාගේ ගීත ගායනා කරන්නට ආරාධනා ලැබුණා.ඉතින් බොහෝ දෙනා මට පැවසුවේ මට තාත්තාගේ හඩට සමාන හඩක් තියෙන නිසා ගායනයට එක්වන්න කියා.සියලුදෙනාගේ ආරාධනා පිලි අරගෙන මම ගායනයට එක් වුනා.ප්‍රසංග වේදිකාවේ මගේ පියාගේ අඩුව පුරවන්න ඉන් මට හැකි උනා."

ඉෂාක් ප්‍රථමයෙන් තම ගායන දිවියේ ආරම්භය ගැන පවසමින් අප හා පිලිසන්දරකට එක් විය.

ඉශාක්ගේ හඩින් පියාගේ ජනප්‍රිය ගීත ගායනා කලත් ඔහුද තමාගේ ගීත 14ක් සහිත සංයුක්ත තැටියක් නිකුත් කර ඇත.

"මගේම ගීත සංයුක්ත තැටිය මීට වසර 10 කට පෙර මම එලි දැක්වුවා.ඒවා සියලුම ගුවන් විදුලි නාලිකා වලට ලබා දී තිබෙනවා.නමුත් ප්‍රචාරය වන්නේ නැහැ.සනත් අබේසේකර මහතා විසින් අධ්‍යක්ෂණය කල "ශ්‍රී දළදාගමනය" චිත්‍ර පටියෙහි තේමා ගීතය ගායනා කරන්නට මට ආරාධනා කළා.ඒ අනුව හිටපු ප්‍රවීණ චිත්‍රපට සංගීත අධ්‍යක්ෂකයකු වන සරත් දසනායක මහතාගේ පුත් රංග දසනායකගේ ගී තනුවකට අනුව "ආසිරි බල වේවා" ගීතය ගායනා කළා.එය මේ දිනවල ඉතාමත් ජනප්‍රිය වී තිබෙනවා.ඉන් මගේ පියා කල ඉල්ලීමද ඉටු වෙනවා.අපේ තාත්තා නිතරම කිව්වේ ගායකයෙක් වෙනවා නම් රිදී තිරයේ ගීත ගායනා කරන්න හැකියාව තිබිය යුතුයි කියලා.මන් හිතනවා මේක මගේ ගීත ලෝකයේ හොඳ ආරම්භයක් කියලා."

ඔබත් පියා මෙන් බොදු බැති ගීතද වැඩිපුර ගායනා කරන්නේ?

"මන් හිතනවා එක අපේ උරුමයක් කියලා.අපේ තාත්තා සිංහල බෞද්ධ ජනතාව වෙනුවෙන් බොදු බැති ගී ගායනා කළා එම ගීත තව දශක කිහිපයක් පවතියි.අපිත් අද ජීවත් වෙන්නේ සිංහල බෞද්ධ ජනතාව නිසා.ඒ නිසා මගෙත් යුතුකම බොදු බැති ගී ගායනා කිරීම."

මරදානේ ඔවුනට හිමිවී තිබු නිවාස කඩා දැමීමත් සමග ඉෂාක් දැන් පදිංචිව සිටින්නේ කුලී නිවසකය මේ වන විට ඔහු දරුවන් තිදෙනාත් බිරිඳත් සමග කොලොන්නාව නගරයේ පිහිටි නිවෙසක පදිංචිව සිටී.

"අපිත් ඇඩ්රස් නැති ගායකයෝ.අපේ මහගෙදර නගර සංවර්ධනයේදී කඩා දැමුවා,තවමත් අපිට ගෙයක් ලැබුනේ නැහැ.මේ ගැන මම ජනාධිපති තුමාටත් කිව්වා."

ඔබගේ දරුවන් ගායනයට එක් වේවිද?

"ඒක කියන්න බැහැ හැබැයි තවම එයාල ඒ ගැන උනන්දුවක් නැහැ.මගේ දරුවෝ තුන් දෙනාම සිංහල මාධ්‍යයෙන් ඉගෙනුම ලබනවා.වර්තමාන සංගීත ක්ෂේත්‍රයේ තියෙන පිරිහීම දැකලා දරුවෝ වෙනත් වෘතියකට යන්නත් පුළුවන්."


0 comments:

Post a Comment