ජපානයේ කරන ලද රග්බි තරග සංචාරය ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කරන ලද අවසන් සංචාරය දැයි තමන් තවමත් තීරණය කර නොමැති බවත් ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමය සමඟ සාකච්ඡා කොට මෙම වසර අවසානයේ ඒ පිළිබඳව තීරණයක් ගන්නා බවත් ශ්‍රී ලංකා නායක නාමල් රාජපක්‍ෂ පැවැසීය. ජපානය සමඟ පසුගිය සෙනසුරාදා නගෝයාහි දී පැවැති තරගයෙන් පසුව ටෝකියෝ නුවර සිට නැවතත් ශ්‍රී ලංකාව බලා යාමට පෙර වැඩි දුරටත් අදහස් දැක් වූ ශ්‍රී ලංකා නායකයා, සමාජයීය හා දේශපාලනමය කටයුතුවල නියැළී සිටින නිසා ක්‍රීඩාව වෙනුවෙන් සම්පූර්ණ කාලය යෙදවීමට අපහසු බැවින් තමන් ජාතික කණ්ඩායමේ සිටින අවසන් වසර මෙය විය හැකි බවද ඉන් පසුව රග්බි ක්‍රීඩාවෙන් සමුගැනීමට බලාපොරොත්තුවක් ඇති බවද පැවැසීය.
මෙම ජපාන සංචාරයෙන් පසුව රග්බිවලින් සමුගන්නවා දැයි ඇසූ පැනයට එසේ පිළිතුරු දුන් නාමල් රාජපක්‍ෂ, ජපානය සමඟ තරගය ගැනද විමසූ විට තවදුරටත් මෙසේද පැවැසීය.
තරුණ කණ්ඩායමක් විදියට ඇවිල්ල අපි හොඳට ක්‍රීඩා කළා කියල විශ්වාස කරනවා. ජපාන කණ්ඩායම ලෝක මට්ටමෙන් ඉහළින්ම ඉන්න කණ්ඩායමක්. ඔවුන් ලෝක කුසලානයට පවා ක්‍රීඩා කරනවා. පසුගිය තරගයේදී පිලිපීන කණ්ඩායම පරාජයට පත්කිරීමට පෙර ඔවුන් නවසීලන්තය සමඟ ක්‍රීඩා කරලයි ආවෙ. අවුරුද්දකට ජාත්‍යන්තර තරග 10ක් 15ක් සෙල්ලම් කරන කණ්ඩායමක්. එහෙත් අපි වසරකට තරග 5-6යි ක්‍රීඩා කරන්නෙ. ඒ නිසා මෙවැනි තරගවලින් අත්දැකීම් හා පළපුරුද්ද ලබාගෙන අපි ඉදිරියේදී කටයුතු කරන්න ඕන.
මෙවර තරගාවලියේදී ඊළඟට තිබෙන පිලිපීනය සමඟ තරගය ජයගන්න සූදානම් වෙනව වගේම මේ තුළින් අනාගතයේදී හොඳ කණ්ඩායමක් බිහිකරන්න හැකියාවක් ඇති බව කී ශ්‍රී ලංකා නායකයා ජපානය ඉදිරියේ ලැබූ පරාජය ඊට බලපෑමක් එල්ල නොවන බවද ප්‍රකාශ කළ අතර තම බලාපොරොත්තුව 2019 ලෝක කුසලානයට යා හැකි කණ්ඩායමක් නිර්මාණය කිරීම බවද පැවැසීය.
ධනුෂ්ක රන්ජන් වැනි වයස අවුරුදු 20-23 වැනි ක්‍රීඩකයන් දැන් වැඩිපුර තම කණ්ඩායම සතුව ඇති බව කී නාමල් එවැනි ක්‍රීඩකයන් තවත් ගෙන ඒමට අදහස් කරන බව කී අතර ශ්‍රී ලංකා පිලට ලැබෙන තරග අඩුවක් දකින්නේ ඇයිද ? යන පැනයටද පිළිතුරු දෙමින් මෙසේද කීය.
ඒක නායකයා විදියට මට තීරණය කරන්න බැහැ. ඒක අපේ රග්බි සංගමය තීරණය කරන්න ඕන දෙයක්. ජපානය කියන්නෙ ආසියාවෙ ඉහළම කණ්ඩායම් පහ අතර අවුරුදු 6ක්ම ඉන්න කණ්ඩායමක්. පළපුරුද්දත් එක්ක එයාලට ලැබෙන තරග වැඩියි. අපේ ක්‍රිකට් ගත්තත් 96ට කලින් අපිට එතරම් ක්‍රිකට් තරග ලැබුණෙ නැහැ. ලංකාවත් දැන් රග්බි ක්ලබ්ස් පස්සෙ විතරක් දුවල හරියන්නෙ නැහැ. ජාතික කණ්ඩායම ගැනත් මීට වඩා අවධානය යොමු කරන්න ඕන.
"ජපානය එක්ක තරගයේදී තිබුණ තද සීතලත් අපිට බලපෑව. ඒත් වෘත්තීය මට්ටමට එන කොට කාලගුණය යන සාධකවලට ඔරොත්තු දෙන තත්ත්වයට අපි එන්න ඕන. ඒක නිදහසට කරුණක් නොවෙයි. අපේ ක්‍රීඩකයන්ටත් විදෙස් රටවලට ගිහිල්ල ක්‍රීඩා කිරීමේ අවස්ථා ලබා දෙන්න ඕන. අපේ රටේ රග්බි ක්‍රීඩාලෝලීන්ට මම කියන්නෙ අපේ තරුණ කණ්ඩායම හොඳ තරගයක් දුන්නා. මෙතැනින් රග්බි අත්හරින්න එපා. කණ්ඩායමත් සමඟ එකට ඉන්න. තව ඉදිරියට අපේ රග්බි ක්‍රීඩාව දියුණු වන බව ස්ථිරයි." යනුවෙන්ද ශ්‍රී ලංකා නායකයා අවසානයේ පැවැසීය
10:01 PM
Unknown

Posted in:
0 comments:
Post a Comment