සල්ලි වලට ඇඟ විකුණන අපේ කාලයේ විශාකාව ~ niruwatha

Sunday, May 18, 2014

සල්ලි වලට ඇඟ විකුණන අපේ කාලයේ විශාකාව

ජීවිතේ මොන තරම් දේ මොන මොන විදියට අපට කියා දෙනවද... ඉතින් ඒ ගැන හිත කලබල කරගන්නේ නැතුව අහන්නකෝ මේ කතාව...

එයාගේ නම විශාඛා...
කිසිම දෙයක් බොරු නැතුව ජීවිතේ ගැන කියන්න කැමැතිද විශාඛා...


අනිවාර්යයෙන්ම කැමැතියි...

මොකද ඒ...


මං වගේ විනාශ වෙන්නේ නැතුව වුණත් මේ ලයිෆ් එක ගෙවන්න පුළුවන් ඇත්ත දැනගත්තොත් කෙනෙක්ට... මං දන්නවා අද රටේ කොළඹ විතරක් කැරෝකේ, නයිට් ක්ලබ්වල කෙල්ලෝ මේ මොහොතෙත් වැටෙනවා පාරට... මේ මොහොතේ නඟිනවා ඇඳට... මේ මොහොතේ ගන්නවා සිගරට් එක අතට... ඩ්‍රින්ක්ස් අතට... ටැබා අතට... අතින් අත යනවා... ඇස්වලින් විතරක් මිල නියම වෙලා... කෙල්ලෝ... රටේ හැම තැනම... ඇඹිලිපිටියේ, මොනරාගල, ගලෙන්බිඳුණුවැව, අනුරාධපුරේ, කුරුණෑගල... අන්ත දුප්පත් ගම්වල කෙල්ලෝ ලක්සිරි යහන්වල, සුපිරි වාහනවල කැමැත්තෙන්, අකැමැත්තෙන් දෙකෙන්ම මස් කරනවා...


ඔයා කොහෙද විශාඛා...


බුදුන්ගේ කාලේ විශාඛා නම් රජගහනුවර... මං නම් මහනුවර...


බොරු?

මං කිව්වනේ.. මං බොරු කියන්න නෙවෙයි මේ ආවේ... ඇත්ත කියන්න... ඇත්ත හරියට දැනගත්තාම ඔයාටත් තේරෙයි මේ ලෝකේ කියන්නේ පිරිමින්ගේ මන‍දොළ පුරවන, පිරිමින්ගේ මතය විතරක් ගොඩදාන මහම මහ එපා කරපු ලෝකයක් කියලා...


හරි ඉතින්... මුල ඉඳලාම කියන්න...

මං ඉපදුණේ නුවර, කටුගස්තොට... පවුලේ හතරදෙනයි... සහෝදරියෝ දෙන්නයි, සහෝදරයෝ එක්කෙනයි... ඒ කියන්නේ නංගියි, අක්කයි, මල්ලියි... මං අතරමැදියා... තාත්තා වැඩ කළේ සී.ජී.ආර්. එකේ... අම්මා වැඩ කළේ නෑ... ගෙදර හිටියේ... අම්මගේ ගම කැලණිය... තාත්තා කටුගස්තොට... මං ඉස්කෝලේ ගියේ (නම කැපුවට සමාවෙන්න)... මං ඒලෙවල් පාස් වුණේ දෙදහස් දෙකේ... කොමස් කළේ... මට සංඛව හමුවුණේ එහෙට ක්ලාස් යද්දි... සංඛ මට වඩා අවුරුදු දෙකක් වැඩිමල්... අපි එකම බස් එකේ ආවෙ ගියේ... ගුඩ්ෂෙඩ් බස් පොළේ ඉන්න දාහක් සෙනඟ අස්සේ අපේ ඇසුත් පැටලුණා... ඉතින් මාත් නොදැනීම සංඛට බැඳුණා... අපි හුඟක් කළේ ඇස්වලින් කතා කරන එක විතරයි... කාටවත් අපි ගැන මොනම විදිහකටවත් සැකයක් ඇති වුණේ නෑ... ඇහි බැල්මෙන් අපි ගොඩක් හීන හැදුවා... පස්සේ මං ගෙදරට කිව්වා සංඛ ගැන... වෙන ඕනෑම ගෙදරක් වගේ අපේ ගෙදරත් මට තහංචි දැම්මා... විශේෂයෙන් අක්කා... අක්කාගේ ඒ වෙනකොට සම්බන්ධයක් තිබුණා... ඒ අයිය වැඩ කළේ මොබයිල් සමාගමක.... එයාට අක්කව විතරක් නෙවෙයි අපේ හැමෝම හසුරුවන්න, එයාට ඕනේ විදිහට තියාගන්න පුළුවන් වුණා... එයා ආවේ ආරක්‍ෂකයෙක් වගේ... ඒත් පස්සේ...

ඊට පස්සේ විශාඛා ඇඬුවා... පුංචි සුදුපාට ලේන්සුවෙන් ඇස් පිහිදැම්මා... බෝතලයකින් වතුර උගුරු දෙක තුනක් බිව්වා... ලොකු හුස්මක් ගත්තා... ආයිත් මං දිහා හැරුණා... එම්.සී. එකේ, ෆුඩ්කෝට් එකේ ඉන්න ගොඩක් දෙනා හැරිලා අපි දිහා බලලා ඇස්වලින් ඉඟිමරලා ගාණක් නැතුව වගේ අහක බලාගත්තා... විශාඛා ඇස් පිහිදැම්ම ලේන්සුවේ අයිබ්‍රෝ පැල්ලමක් ළා දුඹුරු පාටට තිබුණා... ඊට පස්සේ එයා පීරිසියේ තිබුණු චොකලට් කේක් කෑල්ලක් හැන්දෙන් කඩලා අරගෙන දත් අතරේ තියාගත්තා... මං එයා දිහාට කෝක් බඩිය තල්ලු කළා... කේක් කෑල්ල කන ගමන්ම එයා මගේ මූණ දිහා බලලා ස්තුතියි කියන්න වගේ ඇහිපිල්ලමක් ගැහුවා...

ඉතින්...


ඊට පස්සේ එයා... ඒ කියන්නේ අක්කගෙ බෝයිෆ්‍රෙන්ඩ් සංඛ ගැන ගෙදරට පුදුම දේවල් කියන්න ගත්තා... සංඛ අඩු කුලේ කිව්වා... පහතරට රදා පවුලක කිව්වා... සංඛලා, අම්මලා දුප්පත් මිනිස්සු... සංඛගේ තාත්ත නෑ... සංඛට හිටියේ නංගියෙක් විතරයි... සංඛගේ නංගි අක්කගේ බෝයිෆ්‍රෙන්ඩ්ගේ යාළුවෙක්ගේ ස්පෙයාවීල් එක කිව්වා... ඒ යාළුවා බැඳලා කිව්වා... එයා තියාගෙන ඉන්නේ සංඛගේ නංගිව කිව්වා... මේ මඟුල් හැමදෙයක්ම එයා අක්කට කියලා, අක්කා අම්මලාට කියලා, අම්මා තාත්තට කියලා මට හොඳටම බැනුම් ඇස්සෙව්වා... මගේ පස්සෙන් මගේ ක්ලාස් ගාණේ එයා එන්න ගත්තා... මං සංඛට මේ හැමදේම කිව්වා... අපි දෙන්නම ඒලෙවල් පාස් වුණත් කැම්පස් යන්න තරම් අපිට ලකුණු තිබුණේ නෑ... ඒ නිසා මං රස්සාවකට යන්න තීරණය කළා... එහෙම මං දන්න අයටත්, නොදන්න අයටත් කිව්වා රස්සාවක් ගැන... ඊට පස්සේ මං පොඩි ආයතනයක රස්සාවකට යන්න පටන්ගත්තා... මාසේ පඩිය රුපියල් ‍දොළොස්දාස් පන්සීයයි... සංඛත් ඒ වෙනකොට රස්සාවකට යනවා... මට කියන්න අමතක වුණා... රස්සාව මට ලැබුණේ ගෙදර අයගේ උදවුවෙන්....

ගෙදර අයගේ කිව්වේ?


අම්මලාගේ හිතවත්කමට... මං දැනගෙන හිටියේ එහෙමයි... ඒත් මං පස්සේ දැනගත්තා ඒක හොයලා දීලා තිබුණේ අක්කගේ බෝයිෆ්‍රෙන්ඩ් කියලා...


මොකක්ද එයාගේ නම?

භාතිය... පස්සේ මං රස්සාව කරගෙන ඉන්න අතරේ ඒ ඔෆිස් එකේ කෙනෙක් මට එක එක දේ දෙන්න පටන්ගත්තා... එයාගේ නම ගැමුණු... මං එපාම කිව්වත් එයා මට බලෙන් වගේ තෑගි දුන්නා... එයා සීනියර් මට වඩා... මං මේ හැමදේම සංඛට කිව්වා... ගෙදරින් තියෙන බලපෑම ගැනත් කිව්වා... භාතිගේ අයියගේ හැසිරීම් ගැනත් කිව්වා... කවදාවත් අපිට එකතු වෙන්න බැරි බවත් කිව්වා... ඒ ගමන සංඛ කිව්වා අපි දෙන්න රට යමු... ඒ නිසා ඉවසීමෙන් වැඩ කරමු කියලා...


ඔයාලගේ තාත්තා බොනවද?


ඔව්... හුඟක් දවස්වලට බොනවා... දන්නවනේ සී.ජී.ආර්. කියන්නේ මොන වගේ දෙපාර්තමේන්තුවක්ද කියලා...


භාතියත් බොනවද?


භාතිය අයියත් බොනවා... සමහර දවස්වලට තාත්තට එයා අරක්කු ගෙනත් දෙනවා... දෙන්නා එක්කත් බොන දවස් තියෙනවා...


ඉතින් අම්මලා මොනවත් කියන්නේ නැද්ද?

අපේ අම්මා අහිංසක ගැහැනියෙක්.... අක්කා හරි සැරයි... නංගියි, මල්ලියි පොඩියි... අක්කා අපිට කොච්චර සැර වුණත් භාතිය අයියට ගොඩක් බයයි... භාතිය අයියා කිව්වොත් අක්කා ඔළුවෙන් වුණත් හිටගෙන ඉඳියි... මං දන්නේ නෑ ඒ ඇයි කියලා... මාත් භාතිය අයියට බයයි...


හරි ඉතින්...


දවසක් සංඛ මට කිව්වා අපි කොහේ හරි යමු... මෙහෙම ඉන්න බෑ කියලා... මං කිව්වා එක පාරක් ඔයා ගෙදර ඇවිත් අහන්න... ඊට පස්සේ තීරණයක් ගමු කියලා... එක දවසක් වැස්සක් වගේ සංඛ ගෙදරට ආවා... මංවත් දැනන් හිටියේ නෑ එයා එනකම්... එදා තාත්තා බීලා හිටියේ... වහිනවා හොඳටම... භාතිය අයියා හිටියේ නෑ... ඒත් තාත්තා සංඛට හොඳටම බැනලා වැස්සෙම ගෙදරින් එළියට බහින්න කියලා තර්ජනය කළා... සංඛ ගෙදරින් එළියට යනකොටම භාතිය අයියා ආවා එයාගේ වාහනේ... සංඛව හප්පන්න වගේ ඇවිත් නැවැත්තුවේ... ඊළඟට එයා වාහනෙන් බැහැලා සංඛගේ කම්මුලට ගැහුවා... සංඛ මොනවත් කළේ නෑ... සංඛ භාතිය අයියටයි, අපේ ගෙදර අයටයි ඇහෙන්න ඒ නාකපන වැස්ස අස්සේම කෑගහලා කිව්වා "මං අඩුකුලේ එකා තමයි, ඒත් මං විශාඛාට ආදරෙයි. විශාඛා නිසා දැනට මං යනවා" කියලා...

ඉතින්...


තාත්තා ගෙට දුවලා මන්නේ අරගෙන ආවා සංඛට කොටන්න... භාතිය අයියා ආයිත් සංඛගේ මූණට ගහගෙන, ගහගෙන ගියා... සංඛ ගුටිකකා පාරට බැස්සා වැස්සෙම... අකුණු ගැහුවා... ගෙරෙව්වා හොඳටම අහස... මං ඒ වැස්සටත් වඩා හයියෙන් ඇඬුවා...


ඊට පස්සේ...


අක්කා ඇවිත් මගේ කම්මුලට ගැහුවා දෙපාරක්... මං එයාලගෙ නම්බුව නැති කළා කිව්වා... අඩු කුලේ එකෙක් ගෙදරට වද්දගෙන මං එයාලට අවනම්බු කළා කිව්වා... මං එවෙලෙම හිතාගත්තා මං සංඛ එක්ක කොහේ හරි යනවා කියලා...

විශාඛා ඊට පස්සේ එයාගේ ෆෝන් එක අතට අරගෙන මොනවද මොනවද නොම්බර වගයක් එබුවා.... ඊට පස්සේ එයා ඒක කනේ තියාගෙන මං දිහා බලලා, ඇඟිලි දෙක තොල් දෙකට තද කරලා සද්ද කරන්න එපා කිව්වා... මං විශාඛාගේ කරට උඩින් පේන ලස්සන මල් පෝච්චියේ බඳ දිහා බලාගෙන හිටියා...

හරි මං තව පැයකින්, ඒ කියන්නේ හතරයි හතළිහට ඕෂන් ටවර් එක යටට එනවා...

........
පාට මොකක්ද කාර් එකේ....
.............
රායිට්... චෙරියෝ ඩියර්....
ඊට පස්සේ විශාඛා ෆෝන් එක නවලා බෑග් එකට දා ගන්න ගමන් මගෙන් ඇහුවා "ඔයාගේ ඩ්‍රයිවට කියනවද මාව එතැනට ඩේ‍රාප් කරන්න කියලා....."


"ඒ චුට්ට.... හරි මං කියන්නම්.. ඉතින් ඊට පස්සේ මොකද වුණේ...."


භාතිය අයියා ඇවිත් අක්කට බැනලා මට ගහන එකෙන් මාව බේරගත්තා. ඒත් මට භාතිය අයියව පේන්න බැරිව හිටියේ. එයා සංඛට වෙනස්කම්මයි කළේ... දැන් ගැහුවත් එක්ක... පස්සේ ගෙදර අයට මං වැඳලා කිව්වා මේ සම්බන්ධේ නවත්තන්න හදන්න එපා මං මැරෙයි, මගේ ජීවිතේම නාස්ති වෙයි... මට එහෙම කරන්න එපා කියලා....
ඉතිං...

අම්මලා මොනවත් ඇහුවේ නෑ... අම්මලා තනිකරම එයාලගේ මතේ හිටියේ....


අම්මලා... කියන්නේ... අම්මත් එහෙමද....


නෑ අම්මට කරන්න දෙයක් තිබුණේ නෑ.... අදටත් මගේ අම්මට කරන්න පුළුවන් දෙයක් නෑ... අද මගේ අම්මා ඉන්නේ මහනුවර ප්‍රසිද්ධ වැඩිහිටි නිවාසයක...


ඊට පස්සේ මොකද වුණේ කියන්න...

මට සංඛව හමුවෙන්න තහනම් වුණා... වැඩට යන එකත් තහනම් වුණා.. ගෙදරට වෙලා ඉන්න වුණා.. සති දෙක තුනක් මෙහෙම ගෙවිලා ගියා... සංඛ දවස් දෙකක් අපේ ගෙවල් ළඟට ගිහින් තිබුණා... ඒත් මට හමුවුණේ නෑ.... මාත් ඉවසාගෙන හිටියා. අන්තිමට මං තීරණය කළා ගෙදරින් ගිහින් හරි සංඛ එක්ක ජීවිතේ පටන් ගන්නවා කියලා. එහෙම හිතලා මං එක දවසක් රෑ මගේ ඇඳුම් කෑලි ටිකකුයි, බැංකු පොතයි, රත්‍රන් බඩු ටිකයි අරගෙන එළියට බැස්සා... කටුගස්තොට කියන්නේ රෑ දහය වෙද්දි පාළු වෙන නගරයක්... මං එතැන ඉඳලා හිතා ගත්තා දැන් ජීවිතේ මං අල්ල ගත්තා... මෙතැනින් එහාට කවදාවත් ආයි මේක අත්හරින්නේ නෑ කියලා.


ඊට පස්සේ රෑනේ ඉතින්...

ඔව් මං එහෙමම අපේ ගෙවල් ළඟ ගෙදරක ඉස්තෝප්පුවට වෙලා හිටියා රෑ එළිවෙනකල්... ඊළඟට උදේ හතරමාරට විතර පාරට ආවා.. කවුරුත් හිටියේ නෑ ගෑනු කෙනෙක් පාරේ ඒ වෙලාවේ... මං එහෙමම ගැහි ගැහී හීතලට ආවා බස් හෝල්ට් එකට.... ඊට පස්සේ ආව පළමුවැනි බස් එකේම නැඟලා මහනුවරට ආවා... උදේ පහයි දහයයි... පොඩි කඩේකට ගිහිල්ලා තේ එකක් බිව්වා... ඊළඟට කළ පළමුවැනි දේ දෙකේ කාසි පහක් දාලා සංඛට කෝල් එකක් ගත්තා... මං කිව්වා මං මාලිගාවට යනවා... ඇවිත් මාව ගෙනියන්න කොහේ හරි කියලා... මං එහෙමම ටිකක් වෙලා සෙනඟ අතරේ ඉඳලා හයට විතර මාලිගාවට යන්න කුවින්ස් එක ළඟට ආවා... කුවින්ස් එක ළඟින් මං පාර පනින කොට භාතිය අයියා ඇවිත් මගේ අතින් අල්ලා ගත්තා... අක්කලා පාරේ එහා පැත්තේ බලාගෙන හිටියා...

"අපි දන්නවා තෝ කොහේ ගියත් මෙතැනට ඇවිත් තමයි යන්නේ කියලා... ඒකයි අපි ආවේ මෙතැනට... දැන් යමන් ගෙදර... ආයි කවදාවත්, කොහේවත් යන්න උඹට ඉඩ තියන්නෙනෑ අපි... අක්කලා එහෙම කියලා මාව බලෙන් භාතිය අයියාගේ කාර් එකට නග්ග ගත්තා... ඊළඟට ගෙදර ගියා... තාත්තා ඒ යද්දිත් බීලා හිටියේ... අක්කා ආයිත් මගේ කම්මුලට ගැහුවා... භාතිය අයියත් මගේ කොණ්ඩෙන් ඇද්දා... එහෙමම ගෙදර ගිය මං, කාමරේට වෙලා ඇඬුවා... එදාම හවස ආයිත් මං ගෙදරින් එළියට බැස්සා... මොනවත් තිබුණේ නෑ අතේ. කරාබු දෙකයි, පුංචි චේන් එකයි විතරයි... මං එහෙමම බස් එකක නැඟලා නුවරට ආවා. නුවරට ඇවිත් සංඛට කෝල් කළා.... සංඛ ස්ටේෂමට ආවා.. අපි කොළඹ පැත්තට යන් නැතිව අඹේවෙල පැත්තට යන්න ටිකට් ගත්තා... ඊළඟට අපි අඹේවෙල ගියා.. එදා රෑ අපි බහිද්දි හොඳටෝම වැස්ස... එහෙමම අපි එදා එහේ කාමරයක නැවතුණා... වැස්ස, සීතල, තෙත, දුක මේ හැමදේම අපිව ගිනි තිබ්බා... එච්චර කල් හිටිය විශාඛා කෙල්ල, ගෑනියෙක් වුණා.. මං සංඛ එක්ක ජීවිතේ පටන් ගත්තා... ඊළඟට අපි දවස් දෙකක් එහේ ඉඳලා කොළඹට ආවා... සංඛගේ යාළුවෙක්ගේ මාර්ගයෙන් දෙහිවල තැනක රස්සාවක් හොයා ගත්තා... අපි ගල්කිස්සේ ටෙම්පල් පාරේ පුංචි ඇනෙක්ස් එකක නැවතුණා... මේ ඔක්කොම වුණේ හරි ඉක්මනින්. මගේ අතේ සල්ලි තිබුණේ නෑ කීයක්වත්.... සංඛ මේ හැම දේටම සල්ලි වියදම් කළා... සති දෙකක් යන්න ඉස්සර මටත් රස්සාවක් ලැබුණා... ඒ (හෝටලයක නමක් කිව්වා) රිසෙප්ෂන් විදිහට... එතැන හැමදෙයක්ම කෙරුණ තැනක්... සංඛත් අකැමැති වුණේ නෑ.. මට මාසෙකට රුපියල් ‍දොළොස් දාහක් දෙන්නයි එයාලා පොරොන්දු වුණේ. තුන්වැනි සතිය වෙද්දි අයිතිකාරයාගේ පුතාගෙන් මට ගිෆ්ට් එකක් විදියට නෙක්ලස් එකක් තෑගි ලැබුණා... සංඛ එදා, කවදාවත් නැතිව බීලා ඇවිත් හිටියා... මං සංඛට තෑග්ග පෙන්නුවා... සංඛට ඒක බලන්න තරම් සිහියක් තිබුණේ නෑ... මං ඊළඟ දවසේ ඒ නෙක්ලස් එක වැඩට දාගෙන ගියා.. බොසාගෙ පුතා එදා මගේ ඔෆිස් ෆෝන් එකට කෝල් එකක් අරන් කිව්වා නෙක්ලස් එක ලස්සනයි කියලා... මං දන්නෙනෑ එයා කොහොමද මාව දැක්කේ කියලා... එයාට මාව පේන්නේ කැමරා එකෙන් කිව්වා.. එයා ගොඩාක් මං දිහා බලාගෙන ඉන්නවා කිව්වා... මං සංඛට මේ හැමදේම කිව්වා.. මට වැඩට යන්න බෑ කිව්වා මං... ඒත් සංඛ කිව්වේ මට වැඩ පාඩු කර ගන්නේ නැතිව මේ මාසේවත් වැඩට යන්න කියලා...
ඉතින්....

ඊට පහුවෙනිදා තමයි හැමදේම වුණේ.. භාතිය අයියලා පත්තරේ දැන්වීමක් දාලා තිබුණා මගේ පින්තූරේ දාලා සොයා දෙන්න කියලා... මට එදා උදේ බොස්ගේ පුතාගේ කාමරේට එන්න කියලා මැසේජ් එකක් ආවා... මං එතැනට ගියා.. එයා මට වාඩිවෙන්න කිව්වා.. පෞද්ගලික ජීවිතේ ගැන ඇහුවා. ඊට පස්සේ පත්තරේ පෙන්නුවා... මේ නොම්බරේට මං කතා කරලා නොකියන්න එයාට මොනවද දෙන්න පුළුවන් කියලා ඇහුවා... මං ඇඬුවා... මට වතුර වීදුරුවක් එයා දුන්නා... ඊට පස්සේ මට යන්න කිව්වා... මං එහෙමම ඇවිත් වැඩ කළා. එදා හවස මං ඇනෙක්ස් එකට ආවේ ගිනි අරගෙන... සංඛ එදා ගෙදර ආවේ හුඟාක් රෑවෙලා... එදත් සංඛ බීලා හිටියේ... මට පුදුම හිතුණා මේ මනුස්සයා ගැන.. මං මොනවත් කියන්න ගියේ නෑ... මට මවුපියනුත් නැති වෙලා සංඛත් නැති වෙයි කියන බය දැනුණා. ඊළඟ දවසේ උදේ සංඛ මට කිව්වා මේ පොළොවේ අපිට ඉන්න බෑ... අපි නොදැනුවත්වම වැරැදි දේවල්වලට යොමු වෙනවා... ඒ නිසා ඒවා වහගන්න අපිට එක එක දේවල්වලට නතු වෙන්න වෙනවා කියලා... මට පුදුම හිතුණා මේ කියන දේවල් අහලා...

ඊට පස්සේ...


ඊළඟ දවසෙත් මං රස්සාවට ගියා.. එදා සංඛ යනවා කිව්වේ දවල් වෙලා... එදා දවසෙත් මං මගේ පාඩුවේ වැඩ කරගෙන හිටියා... එදා අපේ රිසෙප්ෂන් එකට අලුතින් ගෑනු ළමයෙක් ඇවිත් හිටියා... එයා අනුරාධපුරේ.. දවස් දෙහෙකට පස්සේ එයාටත් මට වගේම නෙක්ලස් එකක් ලැබිලා තිබුණා. ඊට පස්සේ දවසේ ඉඳලා එයා වැඩිය රිසෙප්ෂන් එකේ හිටියේ නෑ... මාත් එක්ක කතාවට වැඩිය ආවෙත් නෑ... පොඩි කෙල්ලෙක් එයා... මට වැඩිය අවුරුදු දෙකක් විතර බාල ඇති...


මොනවද ඔය හෝටලේ කෙරුණේ...

හැමදෙයක්ම... රූම්ස් දුන්නා කපල්වලට... තව මසාජ් තිබුණා... රෙස්ටුරන්ට් එකක් තිබ්බා වෙනම... ඒවා තමයි තිබුණේ.. දවසක් අර අනුරාධපුරේ ළමයා සල්ලි ගොඩාක්.. මගේ හිතේ රුපියල් පනස් දාහක් විතර ගැන්නා මේසේ උඩ තියාගෙන. මට කිව්වා මේ එයාගේ පඩිය සති දෙකක කියලා... මට ලැබුණේ මාසෙටම රුපියල් ‍ෙදාළොස් දාහයි.... ඒත් අර ළමයට රුපියල් පනස් දාහක්... මට මං ගැන කලකිරුණා... සංඛත් මේ මාස දෙකට හොඳටම වෙනස් වුණා... සංඛට එයාගේ අම්මා ගැන, නංගි ගැන මොකක්ද මන්දා දුකක් තිබුණා... සංඛ ගන්න සල්ලි එයාලටත් යවනවා කියලා මං පස්සේ දැන ගත්තා. සංඛ ගෙදර වියදමෙන් පොඩ්ඩ පොඩ්ඩ කර අරින්න ගත්තා... මං පුළුවන් තරම් එයාට කරුණු පැහැදිලි කළා... ඒත් සංඛ වෙනස් වුණේ නෑ... තව තවත් බීමට ඇබ්බැහි වුණා. සිගරැට් බොන්න ගත්තා... අන්තිමට එයා කුඩු පැකට් එකටත් හුරු වුණා.. මේ වෙද්දි මං ජීවිතේ ගැනම කලකිරිලා හිටියේ... ඔය අතරේ අනුරාධපුරේ ළමයාගේ තැනට වෙන ළමයෙක් ආවා.. එයා ඇල්පිටියේ... එයාටත් නෙක්ලස් එකක් තෑගි ලැබුණා.. එයත් පස්සේ දවසක රිසෙප්ෂන් එකෙන් එහේ මෙහේ යන්න ගත්තා. ඊට පස්සේ ආයි දවසක් මට බොසාගේ පුතා එන්න කිව්වා. එයා මට කිව්වා ඔයා ඔය ගෙවන ජීවිතේ වෙනස් කරගන්න කැමැති නම් එයාට පුළුවන් කියලා උදවු කරන්න... මං එදත් හිටියේ ඊට ඉස්සර හිටිය තැනමයි. කැමැති වුණේ නෑ මං කිසි දේකට...


ඒ කියන්නේ මොනවද එයා ඉල්ලුවේ...

මොනවද ඉතින් ඇඟම තමයි... පස්සේ මං ඊළඟ දවසේ වැඩට ගියාම හවස බොසාගේ පුතා මට උඩට එන්න කිව්වා... ඊට පස්සේ කර්ටන් එක අෑත් කරලා පාර බලන්න කිව්වා... මං බලද්දි භාතිය අයියයි, අක්කයි අපේ හෝටලේ ඉස්සරහා වාහනේ නතර කරගෙන වටපිට බල බල හිටියා... මං වැඳලා කිව්වා බොස්ගේ පුතාට කියන ඕන දෙයක් කරන්නම් අක්කලට නම් මාව අහුකරන්න එපා කියලා... එදා මං එතැනින් ආවේ බොස්ගේ පුතාගේ සැප කාර් එකේ පිටිපස්සේ ෂීට් එකට වෙලා... ටින්ටඩ් වාහනේ... ඒ එන ගමන් මඟදිම එයා භාතිය අයියට කෝල් එකක් අරගෙන කිව්වා තේරුමක් නෑ ඔතැන රස්තියාදු වෙන එකෙන් දැන් යන්න... දවසක් ආවොත් හරියට ඔත්තුව දෙන්නම් කියලා... එදා එයා මාව ඇනෙක්ස් එක ළඟින් බස්සලා සල්ලි මිටියක් දීලා මට කිව්වා ගන්න දෙයක් අරගන්න... හෙට උදේ දහයට දෙහිවලට එන්න කියලා.. මං ගොඩාක් කල්පනා කළා. අන්තිමට මං හිතා ගත්තා සංඛත් දැන් මට අහිමියි... ගෙදරත් නෑ... ජීවිතේත් අවුල්... සල්ලි හොයනවා... ජීවත් වෙන්න නෙවෙයි.... ජීවත් වෙන අයව ජීවත් කරන්න කියලා... මං සංඛට රුපියල් දහ දාහක් දුන්නා එදා... සංඛට රටක් ලැබුණා වගේ ඒ සල්ලි... කුරුල්ලෙක් වගේ සංඛ සල්ලිත් අරන් ඉගිළිලා ගියා... මං ඇඟ නොවිකුණාම සල්ලි වෙලා... ඉතින් තව මොනවද... ඊළඟ දවසේ මං උදේ දහයට දෙහිවලට ගියා... මං ඇනෙක්ස් එකෙන් එළියට බහින තුරුත් සංඛ ආවේ නෑ. දෙහිවලදී බොස්ගේ පුතා මාව වාහනේට නග්ග ගත්තා... අපි කළුතරට ගියා.... එහේ (හෝටලයක නමක් කිව්වා) ගියා... හවස හතර විතර වෙනකම් හිටියා... මට තව සල්ලි ලැබුණා... එක මාසෙට මං ලක්ෂ පහ හෙව්වා... බොස්ගේ පුතා මාව එයාගේ යාළුවන්ට හඳුන්වලා දුන්නා... ඊට පස්සේ මං එයාලගේත් තාවකාලික බිරිය වුණා...
ඒ කියන්නේ ප්‍රොස්ට්ටියුස්ලා...

ඔව්... ඒත්... මං වැදගත් විදියට වැඩ කළේ.. අදටත් එහෙමයි... මං පැයට, දෙකට, ඩේ එකට, නයිට් එකට යන්නේ නෑ කාත් එක්කවත්.... අඩුම තරමේ දවස් දෙකක්. ඒ කියන්නේ නයිට් දෙකක්, කොහේ හරි අෑත තමයි යන්නේ... මං ඒ දවස් දෙක හැමදේම කරලා දෙනවා ඉරිසියා හිතෙන විදිහට... ඒකට මං ගාණක් ගන්නවා...


කීයක් විතරද...

දවස් දෙකට රුපියල් විසිදාහයි. ඊට වැඩිවෙන හැම දවසටම අට දාහයි... ඉන්නේ එක්කෙනෙක් එක්කයි... ඩීල් වෙන්නේ බොස්ගේ පුතාගේ කන්ටැක් හරහයි...


ඒ කියන්නේ තවම එයා එක්ක ඉන්නේ...


ඔව්...


එතකොට සංඛ කෝ...

දැන් නම් කොහේ ඉන්නවද කියලා මං දන්නේ නෑ... ගෙදර ගැනත් මං දන්නේ නෑ... හැබැයි මං අම්මට තවම ආදරෙයි... අම්මට මං තාම මාසෙකට රුපියල් විසි දාහක් යවනවා. වැඩිහිටි නිවාසෙට... අක්කලා ගැන මං දන්නෙත් නෑ... ඒත් මට ඕනේ මල්ලිට, නංගිට උදවු කරන්න. ඒක තවම කරගන්න බැරිවුණා...


මොනවද අනාගතේ තියෙන බලාපොරොත්තු....

මොනවත් නෑ... ඒත් කියන්න දෙයක් තියෙනවා... මං වගේ මෝඩ තීරණ ගන්න එපා කවුරුවත්. මොකද කවදාවත් පිරිමියෙක් ගෑනියෙක්ට අනුකම්පාව මත උදවු කරන්නේ නෑ... හැම වෙලේම පිරිමි ගෑනු කෙනෙක්ට උදවු කරන්නේ මොනව හරි යටි අරමුණක් ඇතිවයි...


ඒක හැමෝටම පොදු නෑ නේද...

ඔයා ඒක හිතපු විදිහ වැරැදියි.... ඔයා හිතන්නේ මිස්ට හැමදේම සෙක්ස් එක්ක.. නමුත් දැන් ඔයා මාත් එක්ක වුණත් කතා කරන්නේ ඔයාගේ වෘත්තියට මං වටින නිසානේ... එහෙම නැත්නම් ඔයත් හම්බු වෙන එක්කෙනෙක් විතරයි....


හරි... හරි... අද කොහේද යන්නේ ඔයා...

අද යන්නේ අපි සීගිරියේ... ඉන්නේ දඹුල්ලේ... කොළඹ රෙදි මුදලාලි කෙනෙක්ගේ පුතෙක් තමයි අද ඉඳලා දවස් තුනක් යනකම් මගේ හස්බන්ඩ් වෙන්නේ... ඉතින් දැන් ජීවිතේ මේක තමයි....

ඉතින් දැන් ජීවිතේ මේක තමයි.. 


එහෙම තමයි විශාඛා කතාව නැවැත්තුවේ... කවුද හිතුවේ තාවකාලික බිරියක් මේ තරම් ගණන් කියලා... එතකොට ඇත්ත බිරියන් කීයක් වටිනවා ඇතිද... ඒ ගැන නම් හිතන්න ගියාම මගේ ඔළුවත් පිස්සු වෙනවා... වෙලාව හවස හතරයි තිස් පහයි.... විශාඛා නැගිට්ටා... මං අපේ ඩ්‍රයිවර් මහත්තයාට කෝල් එකක් අරන් එම්.සී. එක ඉස්සරහට එන්න කිව්වා.
කතාව - අනූ එදිරිසිංහ


3 comments:

Anonymous said...

hithanna godak de tiyanawa

Anonymous said...

no comment hmmmmmmmm

Anonymous said...

kauru kohoma kuvath thani athin athpude gahanna ba varadda kalla lagamai

Post a Comment