ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය විසින් පවත්වනු ලැබූ මැයි දින පෙළපාලිය ඊයේ (01 වැනිදා) පස්‌වරුවේ කොම්පඤ්ඤවීදිය හන්දියේදී පොලිසිය විසින් නතර කිරීම නිසා පෙළපාලියේ ගමන් ගත් පිරිස හා පොලිස් නිලධාරීන් අතර දැඩි උණුසුම් තත්ත්වයක් ඇති විය.
ඊයේ (01 වැනිදා) පස්‌වරු 2.30ට පමණ කොටුව දුම්රිය ස්‌ථානයෙන් ආරම්භ කළ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ පිරිස් විවිධ සටන් පාඨ කියමින් මැයි පෙළපාලියේ ගමන් ගත් අතර පෙළපාලිය කොම්පඤ්ඤවීදිය හන්දිය දක්‌වා පැමි”මෙන් පසු පොලිස් නිලධාරීන් විසින් මාර්ගය හරස් කර එම පෙළපාලිය නතර කිරීමත් සමග මෙම උණුසුම් තත්ත්වය ඇති විය.
ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ මැයි පෙළපාලිය කොළඹ හයිඩ් පිටිය දක්‌වා ගමන් කිරීම පොලිස් නිලධාරීන් විසින් නතර කරනු ලැබිණි. මෙහිදී පෙළපාලියේ පැමිණි පිරිස් පොලිස් නිලධාරීන් ඉවත් කර ඉදිරියට යැමට උත්සාහ කළත් පොලිස් නිලධාරීන් විසින් එය වළක්‌වනු ලැබීය.
මෙහිදී පොලිසිය හා පෙළපාලියේ පැමිණි පිරිස් අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති වූ අතර මැයි දිනයේ කම්කරු අයිතීන් පොලිසිය විසින් උල්ලංඝනය කළ බව පවසමින් පැමිණි පිරිස් විසින් කෑගැසූහ.
රථ වාහන ගමනාගමනට බාධාවන අයුරින් ඇතැමුන් මහ පාරේ බිම දිගාවී සිටීම නිසා රථවාහන ගමනාගමනය ටික වේලාවකට ඇණහිටි අතර පොලිස් නිලධාරීහු මැදිහත්වී තත්ත්වය පාලනය කරනු ලැබූහ.
පෙළපාලියේ පැමිණි පිරිස වෙත කොළඹ දිසාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රේමලාල් රණගල මහතා ඇතුළු පොලිස් නිලධාරීහු හයිඩ් පිටියේ වෙනත් වෘත්තීය සමිතියක මැයි දින රැලියක් පැවැත්වෙන බැවින් මෙම පෙළපාලිය සඳහා හයිඩ් පිටිය වෙත යා නොහැකි බව පෙළපාලියේ පැමිණි පිරිසට කියා සිටියහ. මෙහිදී ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ නිලධාරීන් පොලිස් නිලධාරීන් වෙත කියා සිටියේ හයිඩ් පිටියේ මැයි රැළිය පැවැත්වීම සඳහා නිත්‍යානුකූලව අයිතිය ඇත්තේ තමන් වෙත බවයි. එහිදී ජ්‍යෙෂ්Aඨ පොලිස් අධිකාරි ප්‍රේමලාල් රණගල මහතා නැවතත් කියා සිටියේ අධිකරණ නියෝගයක් මත හයිඩ් පිටියේ මැයි රැළිය පැවැත්වීම සඳහා ඉහත වෘත්තීය සමිතියට නීතියෙන් අවසර ලැබී තිඛෙන බැවින් මෙම මැයි පෙළපාලිය සඳහා හයිඩ් පිටියට යැමට නීතියෙන් අවසර නැති බවයි.
පෙළපාලියේ පැමිණි පිරිස හා පොලිස් නිලධාරීන් අතර නැවතත් දැඩි උණුසුම් වචන හුවමාරුවක් සිදුවූ අතර පෙළපාලිිියේ පැමිණි පිරිස් පොලිස් නිලධාරීන්ට දැඩි ලෙස අපහසාත්මක ස්‌වරයෙන් බැණවැදුණත් පොලිස් නිලධාරීන් මනා සංයමයෙන් යුතුව සිද්ධිය පාලනය කිරීමට කටයුතු කරනු දක්‌නට ලැබිණි.
ඉන් පසු ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය සිය මැයි රැළිය කොම්පඤ්ඤවීදිය හන්දියේ පැවැත්වූ අතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රේමලාල් රණගල මහතා ඇතුළු පොලිස් නිලධාරීහු ඒ සඳහා අවසර ලබා දුන්හ.
මේක මර්දනයක්. ඒ නිසා අපි මහ පාරේ මැයි දිනය සමරන්න තීරණය කරනවා. මහ පාරේ මැයි දිනය පවත්වා කම්කරුවන්ගේ අභිලාශය, ධෛර්ය අපි ප්‍රදර්ශනය කරනවා. අපි ආපසු හැරෙන්න ලෑස්‌ති නැහැ යෑයි ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය වෙනුවෙන් සමන් රත්නප්‍රිය මහතා මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්‌වමින් කියා සිටියේය.
පොලිස් ජල ප්‍රහාරක වාහන සමග කැරළි මර්දන නිලධාරීන් ඇතුළු පොලිස් නිලධාරීහු ඒකාබද්ධ වෘත්තී සමිති සන්ධානයේ මැයි දින රැලිය අවසන් වන තුරු සීරුවෙන් සිටිනු දක්‌නට ලැබිණි.
9:12 PM
Unknown
0 comments:
Post a Comment