මුස්ලිම් ජනයාගේ ප්‍රශ්න විසඳන්න ජනපති හදිසි සාකච්ඡාවක් කැඳවයි ~ niruwatha

Friday, May 9, 2014

මුස්ලිම් ජනයාගේ ප්‍රශ්න විසඳන්න ජනපති හදිසි සාකච්ඡාවක් කැඳවයි

මෙරට මුස්ලිම් ප්‍රජාව හමුවේ පැන නැඟී ඇති ගැටලු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ආණ්ඩුවේ සියලු මුස්ලිම් මන්ත්‍රිවරුන් එළැඹෙන වෙසක් උත්සවයෙන් පසුව කැඳවීමට තීරණය කොට තිබේ. මෙම විශේෂ සාකච්ඡාව පැවැත්වීම සඳහා දිනයක් යොදා ගන්නා ලෙස ජනාධිපතිවරයා, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාට නියම කොට තිබේ. පෙරේදා (8දා) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමෙන් පසුව කර්මාන්ත අමාත්‍ය රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා ජනාධිපතිවරයා හමුවී කළ කරුණු දැක්වීමකින් පසුව ජනාධිපතිවරයා මෙම සාකච්ඡාව ලබාදී තිබේ.

දඹුල්ලේ තිඛෙන මුස්ලිම් පල්ලියක් ඉවත්කිරීමට දරන උත්සාහයක් පිළිබඳ බදියුදීන් අමාත්‍යවරයා මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානය යොමු කර ඇති අතර එහිදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ තමා එවැනි තත්ත්වයක් පිළිබඳ නොදන්නා බවයි.

කෙසේ වෙතත් ඉවත් කෙරෙන මුස්ලිම් පල්ලිය වෙනත් ස්ථානයක ඉදිකිරීම සඳහා සුදුසු විකල්ප ඉඩමක් ලබාදෙන ලෙස ජනාධිපතිවරයා බලධාරීන් වෙත උපදෙස් ලබාදීමෙන් පසුව මාතලේ හා දඹුල්ල නගරාධිපතිවරුන් හා නාගරික සංවර්ධන අධිකාරියේ දඹුල්ල ප්‍රධානියාගේ සහභාගිත්වයෙන් පෙරේදා (8දා) සවස දඹුල්ල මුස්ලිම් පල්ලියේදී රැස්වීමක් පවත්වා එම මුස්ලිම් පල්ලිය වෙනුවෙන් විකල්ප ඉඩමක් ලබාදීමට ගෙන ඇති තීරණය ගැන දැනුම්දී ඇති අතර ඒ අනුව සුදුසු විකල්ප ඉඩම් හතරක් මුස්ලිම් පල්ලියේ භාරකරුවන්ට පෙන්වා ඇති බවත් වාර්තා වේ.

මෙහිදී ජනාධිපතිවරයා හමුවේ වැඩිදුරටත් අදහස් දක්වමින් බදියුදීන් අමාත්‍යවරයා පවසා ඇත්තේ යුද්ධයෙන් අවතැන්වූ මුස්ලිම් හා සිංහල ජනතාවද යළි පදිංචි කිරීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් සකස් කරන ලෙසයි.
ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නැයි ඒ අවස්ථාවේදීම ජනාධිපතිවරයා ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කැඳවා උපදෙස් ලබාදී ඇති බවද වැඩිදුරටත් වාර්තා වේ.

0 comments:

Post a Comment