club සැප ලබන්න පෙර දැනුවත් වෙන්න..! ~ niruwatha

Tuesday, May 27, 2014

club සැප ලබන්න පෙර දැනුවත් වෙන්න..!

දේවිකා මට හමුවූයේ අහම්බෙනි. රැකියාව නිමකොට නිවෙසට යාම සඳහා බස් රියකට ගොඩ වූ මට ඇය හා කතාබහ කිරීමට අවස්ථාවක් ලැබිණ. මා රැකියාව නිමකොට සිටිය ද ඇය ඒ බස්රියට ගොඩවූයේ රැකියාවකට යාම සඳහාය. ඇගේ සේවය පටන් ගැනෙන්නේ රාත්‍රි කාලයටය. ඇගේ සේවය නිමවන්නේ පසුදා පහන් වෙද්දී ය.

“අපේ රස්සාවේ හැටි ඔහොම තමයි. එක වෙලාවකට මහ කරුම ජීවිතයක් ගත කරන්නේ කියලත් හිතෙනවා. ඒත් ඉතින් මොනවා කරන්නද ජීවත් වෙන්න ඕන නිසා ඉවසගෙන ඉන්නවා.”

මට ඇය ගැන ඇති වූයේ දුකකි. ඒ ඇගේ කතා විලාසය නිසාය. බසයේ දී ඇති කරගත් දැන හැඳුනුම්කම් මත මම පසුදා ද ඇය සේවයට යාමට බසයට නගිනතුරු මඟ බලා උන්නෙමි. ඒ ඇය දැකගැනීමට ඇති ආශාව නිසාය.

කෙසේ හෝ වැඩිකල් නොගොස්ම අපේ මිතුරුකම සිහින් ආදරයකට පෙරළිණි.

“ඔයා දවසක මම වැඩ කරන තැනට එන්න.” ඇය මට කළ ආරාධනාව මම එක සිතින් පිළිගත්තෙමි.

“ඔයාගේ ජොබ් එක පටන්ගන්නේ රෑට නේ... මම කොහොමද රෑට ඇවිත් එළිවෙනකම් ඉන්නේ..”

“ඔයා එක දවසක් එන්නකෝ.. ඊට පස්සේ ඔයාට හැමදාම එන්න හිතේවි...”

ඒ ආරාධනාව මත බිරියට බොරුවක් කී මම දිනෙක රාත්‍රියේ ඇය සොයා ගියෙමි. එය රාත්‍රී කැරෝකේ සමාජ ශාලාවකි. කිසිදිනෙක මෙවන් තැනකට නොගිය මට මේ ගමන මහ අමුත්තක් විය. ඇය කී පරිදි මුදල් ගෙවා සමාජ ශාලාවට ඇතුළු වූ මට කරකවා අතහැරියා සේ දැනිණි. අඳුරු ගැන්වී ඇති සමාජ ශාලාවේ නාටිකාංගනාවෝ එහා මෙහා ගමන් කරති. එවන් රූමතියන් දෙදෙනකු මා ළඟට පැමිණ මා වැළඳගත්තේ මටද කරකියා ගත නොහැකි ලෙසිනි.

“කොහොමද පැටියෝ...” එක කෙල්ලකු මං ඇය දෙසට ඇද ගන්නට උත්සාහ කළේ කලක සිට දන්නා හඳුනන එකියක ලෙසිනි. කිසිදා මෙවන් තත්ත්වයකට පත් නොවූ මා කිසිත් කරකියා ගත නොහැකිව දෙනෙත් කරකවා බැලුවේ දේවිකා ඒ අසලකවත් සිටිදෝයි සැකයෙනි. ඒ වනවිටත් එක කෙල්ලක මා එතැන තිබූ සෝපාව වෙත රැගෙන ගියේ අනෙක් කෙල්ලන්ට ඇහැකින් ඉඟියක්ද කරමිනි.

“ඔයා ෆස්ට් ටයිම්ද මෙහෙ ආවේ..” මම හිස සැලුවෙමි.
“මොනවද බොන්නේ...” ඊට පිළිතුරු නොදුන් මම වන්නට යන්නේ කුමක්දැයි නොදැන වටපිට බැලුවෙමි. ඒ දේවිකා සොයා ගැනීමේ අටියෙනි.

“මොනවද අනේ.. බොන්නේ... කියන්නකෝ..”
“පොඩ්ඩක් ඉන්න... මෙහේ දේවිකා කියලා ගර්ල් කෙනෙක්


වැඩකරනවද...?”

කෙසේ හෝ මම කඩහඬ අවදි කළෙමි.

“දේවිකා... දේවිකා... එහෙම කෙනෙක් නැහැනේ...”
“ බොරලැස්ගමුවේ ඉඳන් එන්නේ...”
“නැහැ. එහෙම ගර්ල් කෙනෙක් නැහැ.. ඔයාට දේවිකා කිව්වට එයාට මෙහෙ කියන්නේ වෙන නමක් වෙන්න ඇති...” ඇයට කියන්නට ලැබුණේ එපමණකි. කොහේදෝ සිට පැමිණි රූමතියක් මා වැළඳ ගත්තේ මා ළඟ සිටි කෙල්ලද ඉවතට ඇද දමමිනි.

“උඹ පලයං.. මේ මගේ කස්ටමර් කෙනෙක්” මට දෙනෙත් අදහා ගන්නටත් බැරි විය.
“දෙවියනේ මේ දේවිකා ද.. මෙච්චර ලස්සන. වෙන්න බැහැ”
“මොකද ළමයෝ බය වෙලා.. මම දේවිකා....”
“මට හිතා ගන්නත් බැහැ... ඔයා...”
“එහෙම තමයි ළමයෝ.. අපි මෙහෙ ඉන්නකොට මෙහෙම තමයි.. ඉන්නේ”

ඇය සිටියේ බාගෙට නිරුවතිනි. දෙනෙත්වල ඇත්තේ සරාගී පෙනුමකි. නිල්වන් පාටින් දිළිසෙන ඇගේ දෙනෙත් මා සිත සලිත කරවයි. දෙපා නිරුවත් වන ලෙසට ඇඳ සිටි කළු පැහැති ගවුම ඇගේ සිරුරට තවත් පියකරු බවක් ගෙනදෙයි. මම ඇය දෙස මොහොතක් බලා සිටියෙමි. ඇත්තෙන්ම මට ඇය එකවර හඳුනාගත නොහැකි විය. ඒ ඇගේ පාට තැවරුණු රුව නිසාය. එක එල්ලේ මා සලිත වූවද මම ඇගේ රුවට බෙහෙවින් ප්‍රිය කළෙමි.

“ඔයා කොහොම හරි මාව හොයාගෙන ආවානේ ද..?” ඇය කතාව ඇරඹුවේ එලෙසිනි.
“මම බැලුවා අපේ කෙල්ලෝ කාවද මේ වටකරගෙන ඉන්නේ කියලා.. බැලින් නම් මෙයානේ.... තව ටිකකින් මට ඔයාව නැති වෙනවා...”
“ඇයි ඒ...”
“අරුන් ටික ඔයාගේ දත් ගලවනවා.” මට ඇය කියන කතාව එතරම් නොතේරේ.. ඒත් මම ඒවා දන්නා ලෙසින් සිනාසුණෙමි. හිස වැනුවෙමි.”
“ඉතිං පැටියො.. මොනවද බොන්නේ...”
ඇය මට තුරුලුවෙමින් ඇසුවා ය. කැරෝකේ සමාජ ශාලාවට මා අමුත්තකු බැවින් මෙතැන වෙන දේ ගැන මට කිසිදු වැටහීමක් නොතිබිණි.
“කියන්නකෝ මොනවද බොන්නේ..” ඇය පෙරැත්ත කරමින් ඇසුවාය.
“ඔයා කැමති දෙයක් ගේන්න”
“බකාඩි..”
“ඔයා කැමති නම් ගේන්න..”
“බෝතලයක්...”
මම ඊට හිස සැලුවෙමි. කිිරිල්ලියක් සේ මගෙන් ඈත්වී දිවගිය ඇය මොහොතකින් පැමිණියේ ‘බකාඩි’ බෝතලයක් හා කජු පීරිසියක් සමඟිනි. ඒ අතර සිගරැට් පැකට්ටුවක් ද විය.
“මම සිගරැට් බොන්නේ නැහැනේ.”
“ඒක මට...”
“ඔයා සිගරැටුත් බොනවද..?” ඇය මා දෙස හෙළුවේ දයාබර බැල්මකි.
“මෙතන රස්සාව කරනවා නම් මේ සේරම දේවල් පුරුදු වෙන්න ඕන..”
“මාර රස්සාවක් නේ..”
“ඒක තමයි මම ඔයාට මුලින් ම කිව්වේ... මේක මහ කරුම රස්සාවක්.. ජීවත්වෙන්න ඕන හින්දයි මේක කරන්නේ..”
“ජීවත්වෙන්න ඕන කියලා රටේ තියෙන නරක වැඩ සේරම කළාම හරියනවැයි... ”
“මට තේරෙනවා අනේ.. වෙන මොනවා කරන්නද.. එහෙනම් මාව කොහේ හරි අරන් ගිහිල්ලා මට හොඳ ජොබ් එකක් හොයලා දෙන්න.”

ඒ ඇගේ ආයාචනාව විය. ඒ හමුව අපේ පළමු සුන්දර රාත්‍රිය ද විය. ඒ රාත්‍රිය ගෙවුණේ ඉක්මනින් බව මට දැනුණි. අඳුරු ශාලාවේ කොනක ඇය මට තුරුලු වූයේ බමන මතින්ය. බකාඩි වීදුරු දෙක තුනක්ද තොල ගා සිටි මටද එය සුන්දර මිහිරියාවක් ගෙන දුන්නේය.

“ඔයා මට ආදරේද..?”

ඇය හීන්සැරේ මුමුනන්නීය. මම ඇයව සිප ගත්තෙමි. ඒ ආදරය නිසා නොවේදැයි ඇය සිතුවා විය හැකිය. මට මගේ මුළු ජීවිතයම අමතක විය. ඇය කීවා නිවැරදිය. එක දවසක් මෙම පහස විඳින පිරිමියකු යළි මෙතැනට නොඑනවා නම් පුදුමයකි. මා එදා ඇගෙන් සමුගත්තේ එන සතියේ දී ඇයව සොයා එන පොරොන්දුව මතය.

දේවිකා විවාහක කතකි. ඇගේ සැමියා අත්හැර ගොසිනි. මට ඉන් කම්නැත. එදා සිට මා ගත කළේ අමුතුම ලෝකයක් ය. මට ඇය මැවි මැවී පෙනුණේ ය. ඇය මට දුරකථනයෙන් ඇමතුවාය. කතා බස් කළාය. තුරුලු වූවාය. ඒ මිහිරි සුන්දර කාලය අවසන් වූයේ මේ පිළිබඳ මාගේ බිරිය දැන ගැනීමත් සමඟ ය.

ආරවුල් ඇති වූයේ එතැන් පටන්ය.
“තමුසේ රෑට රෑට ගෙදරින් ගිහින් ගෑනියෙක් එක්ක නටන නාඩගම මම දන්නේ නැහැ කියලද හිතුවේ..”

කොතෙක් මා නිවැරදි වෙන්න උත්සාහ කළත් ඇය ඒ කිසිත් පිළිනොගත්තාය. අවසානයේ ඇය මා එපා යැයි කියමින් දික්කසාද නඩුවක් ද පැවරුවාය. ඒ නිසාම මෙතෙක් සාමකාමිව පවුල් කෑ අපේ දීගය අවසන් විය. ඇගේ මහ ගෙදර පදිංචිව සිටි මට එතැනින් සමුගන්නට සිදුවිය. ඥාතීන්, මිතුරන් මට කොතෙක් පහදා දෙන්නට හැදුවද ඒ කිසිත් නොපිළිගත් මම යළි දේවිකා හොයා යන්නට වීමි.
එයද එවන් රාත්‍රියකි. දහසකුත් ප්‍රශ්න රැසකින් මා හිස වේදනාගෙන දුන්නද රාත්‍රියේ ඇයට තුරුලු වී සිටීමේ බලාපොරොත්තුවෙන් ඇය හමුවන්නට කැරෝකේ ශාලාවට ඇතුළු වූ මට අදහාගත නොහැකි දසුනක් ඇස ගැටිණි. දේවිකා තවත් අයකුට තුරුලු වී සිටී. මට කරකියා ගත දෙයක් නොවීය. මා පැමිණි බව ඇය නොදත්තාය. මා කෙළින්ම ගියේ ‘බාර්’ එක වෙතය. උසැති පුටුවකට බර වූ මා ‘බකාඩි’ වීදුරුවක් දෙකක් තොල ගෑවේ වෙන කළ යුතු දෙයක් නොතිබූ නිසාය. අඩ අඳුරේ හා ශාලාවේ ඇති ඝෝෂාකාරි බව නිසා ඇයට මා ගැන නිනව්වක් නැත.
“ඇයි මේ තනියම...” තවත් කෙල්ලක් මා ගත දැවටේ. ඒත් මගේ සිත ඇය වෙත නැඹුරු නොවීය. මම දැන් පාඩමක් ඉගෙන ගෙන ඇත්තෙමි. මැයද දේවිකා මෙන් බව මම දනිමි.

“මොකද මේ බොන්නේ.. දේව් බූට් එකක් තිබ්බද..?” මම ඇය දෙස හැරී බැලිමි. ඇය ‘දේව්’ ලෙස ආමන්ත්‍රණය කළේ මා ආදරය කළ දේවිකාට ය.

“ඇයි ඔයා ඒක දන්නවද...?”
“නැතිව නැතිව.. මෙහෙ ඔක්කොම දන්නවා ඔයාලගේ එෆයාර් එක..” මට ඇය ගැන පුදුම සිතිණි.
“දේව් වෙන කස්ටමර් කෙනෙක් එක්ක ඉන්න හින්දද ඔයා ඔහොම බොන්නේ.”

මම ඊට හිස සැලුවෙමි.
“අයියෝ.. අයියේ මෙතන හැටි ඔහොම තමයි මේ කෙල්ලෝ එක්කෙනකුට ආදරය කරන අය නෙමේ. ඒ රස්සාවේ හැටි. මෙතන කෙල්ලන්ට බොක්කෙන් ලව් කරන්න එපා.දෙව් එක්ක ඔය ඉන්නේ... හොඳ සල්ලිකාරයෙක්. එයාගේ ගෑනිත් දේව් නිසා ඩිවෝස් වුණා. ඕවා ගණන් ගන්න එපා...”

ඇගේ කතාව මට පුදුම ගෙනදුනි. දේවිකා මට කළේද ඒ දේම නොවේදැයි මට සිතිණි. ඇය නිසා මගේ බිරිය ද දික්කසාදවීමට නඩු දමා තිබේ. අද මට ඇයද අහිමිය. මා ආදරය කළ දේවිකා ද නැත. එදා මට ආදරය කළ ඇය අද වෙනකෙකු තුරුලේ ය. කළ යුතු දෙයක් නොවීය. මම කාටත් නොකියා ශාලාවෙන් පිටතට පැමිණියෙමි. එතැන සිටි ආරක්ෂක භටයකු මට කැබ්රියක් කතාකර දෙනවා මට යාන්තම් මතකයේ ඇත. කෙසේ හෝ මම නවාතැන්පොළට පැමිණ ඇත්තෙමි. සියල්ල අහිමි කරගත් මම මටම ශාපකොට දෙනෙත් තදින් පියාගත්තෙමි.

ඔබ මෙය ප්‍රබන්ධයක් බවට සිතනවා නොඅනුමානය.නැත.මෙහි පවතින සියලුම සිද්දීන් 100%ක් සත්‍ය වේ... මෙය ඔබගේ රසවින්දනය සඳහා නොව, night club සමාජයට පිවිසීමට මාන බලනා තාරුණ්‍යයේ ආරක්ෂාව පතාමය. 

0 comments:

Post a Comment