අම්මා... ඔයා කුසට ආපු දා ඉදන්ම නරක කෑමක් බීමක් නොකා නොබී, හයියෙන් ගමනක් බිමනක් නොයා, බර වැඩක් නොකර පරිස්සම් වුණා... ඔයා ඉපදුනු දා ඉදන් ඔයාට සීරීමක්වත් වෙන්න නොදී බලාගත්තා.. ගෑණු ළමයෙක් කියන්නේ කොයි තරම් පරිස්සමින් ජීවත් වෙන්න ඕන කෙනෙක්ද කියලා ඔයාට කියලා දීලා ඇහැක් වගේ ඔයාව ආරක්ෂා කළා....
තාත්තා.. මතකද පුංචි කාලෙ ඉදන්ම ඔයාව අතින් අල්ලගෙන ඉස්කෝලෙට එක්කරගෙන ගියා.. ලොකු වෙලා රස්සාවක් කරන කාලෙට ආවත් තාත්තා හැන්දෑවට කලුවර වැටෙන වෙලාවක ඔයා තනියම පාරක තොටක යනවාට කැමති වුණේ නෑ.. බිදෙන වීදුරුවක් පරිස්සම් කරන ගාණට ඔයාව පරිස්සම් කළා...
අයියා එයාගේ යාලුවෙකුටවත් ඔයාට වචනයක් කියන්න ඉඩ දුන්නේ නෑ.. මල්ලි වුණත් හැම තැනකටම ඔයත් එක්ක තනියට ආවා..
ඒ ඔයාට ආදරේ නිසා...
ඔයාට ගොඩක් ආදරේ කරපු හැමෝම ඔයාව පරිස්සම් කළා.. ආරක්ෂා කළා.. ඔයාගේ ගෞරවය රැක්කා...
ඇත්තටම ආදරේ කරන අය එහෙමයි.. තමන් ආදරේ කරන අයව එයාලාට හරියට වටිනවා.. ඒ නිසා ඒ අය තමන් ආදරේ කරන අයව පරිස්සම් කරනවා.. තමන් ආදරේ කරන අයගේ ගෞරවය ආරක්ෂා කරනවා.. ඒ අයගේ ජීවිතේ ගැන අනාගතේ ගැන හිතනවා...
දැන් ඉතින් ඔයාට ආදරේ කරන තවත් කෙනෙක් ඉන්නවනේ....
හිතලා බලන්න... එයාත් ඔයාට ඇත්තටම ආදරෙයිද..?
එයා ඔයාට ඇත්තටම ආදරේ නම් එයාත් ඔයාගේ ගෞරවය ආරක්ෂා කරාවි.. ඔයා තැන් තැන් වල අගුපිල් ගානේ ලගින, අයාලේ යන “කෑල්ලක්“, “බඩුවක්“ කියලා මේ ලෝකය ඔයාව පාච්චල් කරනවාට එයා කැමති වෙන්නේ නෑ.. ඒ හින්දා ඔයාව අදුරු මුල්ලක තනි කරගන්නවත්, හෝටල් කාමරයකට ගෙනියන්නවත් එයා උත්සාහ කරන්නේ නෑ...
එයා ඔයාට ඇත්තටම ආදරේ නම්.. එයා ඔයාව තේරුම් ගනීවි.. හැම කෙල්ලෙක්ම වගේ ඔයත් සුදු ඔසරියක් ඇදලා, මාල හතක් දාලා, පෝරුවක නැගලා, ආඩම්බරයෙන් මනමාලියක් වෙන්න ආසයි කියලා එයා තේරුම් ගන්නවා.. ඒ හින්දා ටික කාලෙකට ඇදිච්ච ලොතරැයි දිනුමක් වගේ හනි හනිකට ඔයාව පාවිච්චි කරලා ඉවර කරන්න එයා හදිස්සි වෙන්නේ නෑ...
එයා ඇත්තටම ඔයාට ආදරේ නම්, කවදා හරි එයාගේ ජීවිතේ බෙදාගන්න බලාගෙන ඉන්නේ ඔයාත් එක්ක නම්, එයා ඒ ආදරේ පරිස්සම් කරනවා.. ආරක්ෂා කරනවා...
දැන් ඇත්තටම කියන්න...
එයා එහෙම කෙනෙක්ද..?
ඔයාට ඇත්තටම ආදරේ කරන, ඔයාගේ ගෞරවය ආරක්ෂා කරන, ඔයාගේ අනාගතය ගැන හිතන කෙනෙක්ද..?
එහෙනම් එයාට ආදරේ කරන්න.. ඒ වගේ කෙනෙකුට ආදරේ කරන්න වැලන්ටයින්ගේ දවසක් ඕන නෑ....
ඒත් එයා එහෙම කෙනෙක් නෙවෙයි නම්.....
ඔයා හිතන්න තව ටිකක්...
එයා ගැන නෙවෙයි.. ඔයා ගැන.. ඔයාගේ ජීවිතේ ගැන, අනාගතේ ගැන...
මේක ලිව්වේ ඇයි කියලා ඔයා දන්නවද නංගී..? ආදරවන්තයිනේගේ දිනේට.. ඒ කියන්නේ පෙබරවාරි දාහතර වෙනිදාට පස්සෙත් ඔයාගේ ජීවිතේට තවත් දවස් එළඹෙනවා කියලා මතක් කරලා දෙන්න.. ඒ එළඹෙන දවස් වලදිත් ඔයා හිනාවෙලා ඉන්න ඕන..
බිදිච්ච, වැරහැලි වෙච්ච, සල්ලං වෙච්ච ජීවිතයක් එක්ක හිනා වෙන්න බෑ......
නිම්මි මුදිතා හේරත්
4:01 AM
Unknown


Posted in:
1 comments:
;-(
Post a Comment