අයෙක් පොලිස් වෙඩි පහරින් මරුට ~ niruwatha

Tuesday, March 11, 2014

අයෙක් පොලිස් වෙඩි පහරින් මරුට

රත්නපුර, හිඳැල්ලන ප්‍රදේශයේදී මැණික් ව්‍යාපාරිකයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන පාලංකඩ හීනා නොහොත් සුගත් චාමින්ද නැමැත්තා අද පොලීසිය සමග ඇතිකරගත් ගැටුමකින් ජීවිතක්ෂයට පත්වූ බව පොලිසිය සඳහන් කරයි.

පසුගිය පෙබරවාරි මස 13 වන දා අදාළ මැණික් ව්‍යාපාරිකයා ඝාතනය කර තිබුණු අතර මෙම සැකකරු ඊයේ අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී හෙළිවූ කරුණු අනුව සඟවා තිබු බෝම්බ දෙකක් සොයා රත්නපුර, මහවල වත්ත ප්‍රදේශයට ගිය අවස්ථාවේ සඟවා තිබු එක් අත් බෝම්බයකින් පොලිසියට ප්‍රහාරයක් එල්ල කිරීමට තැත් කල අවස්ථාවේ පොලිසිය විසින් එල්ල කල වෙඩි පහරකින් සැකකරු ජීවිතක්ෂය පත්ව ඇත.

මොහුට විරුද්ධව මිනි මැරුම් නඩු 21 සහ කොල්ලකෑමේ සිද්ධීන් 31ක් ඇති බව පොලිසිය සඳහන් කළේය.

වීරවිල ප්‍රදේශයේ පදිංචි සැකකරු තැනින් තැන සැඟවී සිටිමින් සිටියදී හික්කඩුව ප්‍රදේශයේදී ඊයේ අත් අඩංගුවට ගෙන ඇත. මැණික් ව්‍යාපාරිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් ජිවිතක්ෂයට පත් අපරාධ කරුවා සමග තවත් සැකකරුවෙක් අත් අඩංගුවට ගෙන ඇති අතර මෙම සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලසිය පැවසිය.

පාලංකඩ හීනා නමැත්තා කැලණිය ප්‍රදේශයේ සඟවා තැබූ තවත් ගිනි අවි කිහිපයක් සොයා පරීක්ෂණ සිදු කරන බවත් පොලිසිය සඳහන් කළේය. මෘත ශරීරය රත්නපුර රෝහලේ තබා ඇති අතර මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමට නියමිතය.