ජීවිතය කියන්නේ මහා පුදම දෙයක්.සමහර මිනිස්සු ජිවිතේ ගැට ගහ ගන්න කරවිල තම්බා ගෙන කන කොට ඒ මිනිස්සුන්ගෙම ඡන්දෙන් පළාත් සභාවට පාර්ලිමේන්තුවට ගිය සමහරුන්ට ඒක විහිළුවක්.බඩගින්න ඉවසා ගන්න බැරිකමට තමන්ගේ කුසින් වදපු ළමයින්ට වහ පොවලා තමුනුත් වහ බීලා මැරෙන්න යන අම්මලා තාත්තලා ඉන්න යකාගේ රටක් මේක. එත් අපේ හාමුදුරුවනේ මේ රටේ බඩගිනියි කියන්න තහනම්. හත් දෙයියනේ තමන් බඩගින්නේ ඉන්නවා මදිවට ඒක ලෝකයට කියන්නවත් නිදහසක් නැත්නම් වහ ටිකක් බීල මැරෙනවා ඇරෙන්න වෙන මොනවා කරන්නද? අම්මපා ඔබ වහන්සේ ගැන හිතේ කහටක් නෑ. ඔබ වහන්සේ පිරිත් නූල් ගැට ගහනකන් ඔලුව පහත කරගෙන අත දික් කරගෙන ඉන්න මහත් - හොරු තමයි මේ
බඩගිනියි කියන එකත් තහනම් කරලා තියෙන්නේ. අපේ හාමුදුරුවනේ ඒ ඇත්තන්ගේ වසිකිලියත් A/C කරලා තියෙන්නේ බහිශ්‍රාවය කරද්දී දාඩිය දැම්මොත් රටේ ජනතාව ගැන තීන්දු තීරණ ගනිද්දී අකටයුත්තක් වෙයි කියලා මගේ හිතේ එහෙම කරලා තියෙන්නේ. මේ ඇත්තන්ගේ ළමයින් ලයිසන් නැතුව වාහන එළවලා හාමත් මිනිස්සුන්ව යට කෙරුවා කියලා කිසි දොසක් නම් නෑ.පොලිස් ඇප ලැබෙන්න යන්නේ විනාඩි ගානයි.ඒ විතරක්ද අපේ හාමුදුරුවනේ පොලිසියේ ලොකු මහත්තයාගේ A/C කරපු වහානයකින්ම ගෙදරට ගෙනහින් බස්සනවා.පොලිසි වල ඉස්සරහා ලස්සනට මල් වවලා, තාප්ප ගලවලා තිබුනට තාමත් මිනිස්සුන්ටනම් එදා සිද්ද වුනු දේවල් තාමත් පොලිසිය ඇතුලේ සිද්ද වෙනවා අපෙ හාමුදුරුවනේ. බන භාවනා කරන්න ගත කරන කාලය වැඩි හින්දා අපේ හාමුදුරුවෝ මේ කාරනා ගැන දන්නේත් නෑ.ඒ උනාට මේක මත් කුඩු කන්ටේනර් පිටින් ගොඩ බසින රටක්.රටේ දෙවෙනි පුරවැසියාගේ ලේඛම්ලා ඒ කන්ටේනර් පෙට්ටි ගොඩ බාන්න ලයිසන් දෙන රටක් මඤ්ඤොක්කා අලයක් තම්ම්බාගෙන කාලා පලා කොලයක් මලවාගෙන කාල ජීවත් වෙන එවුන් ගහපු කතිරේ ඇමතිලා වෙච්ච ඇත්තෝ එනතොල් ගෙන්න්නන රටක්.අපේ හාමුදුරුවෝ දන්නවද?මේ රටේ පාර්ලිමේන්තුවේ තියෙන කෝප් කමිටුවෙන් වංචා - දූෂණ කළා කියලා ඔප්පු වුනොත් දෙන දඬුවම මොකක්ද කියලා චූදිතයා ඉන්නේ විපක්ෂයේ නම් ආණ්ඩු පක්ෂයට පනින්න වරමක් හම්බ වෙනවා, චූදිතයා ඉන්නේ ආණ්ඩු පක්ෂයේ නම් ෆයිල් එක එලියට එන්නෙම නෑ.හැබැයි හාමුදුරුවනේ මිනිහ ඔය තැන තැන වල වෙරි මරගාතේ ආණ්ඩුව යන පහර හොඳ නෑ අර ඇමතිගේ වැඩ මෙහෙමයි මේ ලොක්කා අර නිළියත් එක්ක රට සවාරි යනවා ඔන්න ඔය වගේ කතා කියවනවා නම් ෆයිල් ආපු ගමන් මිනිහගේ කට වැහෙනවා.ඔන්න දඬුවම එච්චරයි.තව තියෙනවා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන කියලා එකක්. පොලිසියේ රාලහාමි කෙනෙක් රුපියල් 500ක් ගත්තොත් සමාවක් නෑ. කුදලාගෙන කෙලින්ම කූඩුවට දානවා.ඒ උනාට
ඇමතිවරු නවදෙනකුට විරුද්දව ලැබිලා තියෙනවා කියන අල්ලස් පැමිණිලි බහිරවයා ගිලලා අපේ හාමුදුරුවනේ. සතයක් ගතත් අල්ලස නම් අල්ලස තමයි. ඒත් අපේ රටේ ඉපදිච්ච එකම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් අයිතිවාසිකම් උරුම වෙලා තියෙන දෙකෝටි විසි එක් ලක්ෂයක ජනගහනය එක එක කොටස් වලට කලා වෙන වෙන සැලකිලි කරන එකයි තියෙන ප්‍රශ්නය.අපෙ හාමුදුරුවනේ මේ රටේ මන්දපොස්හනෙන් ළමයින් මැරෙනවා.හාමතෙන් ඉස්කෝලේ යන්න බැරි හින්දා ළමයින්ගේ ඉස්කෝලේ ගමන නවතිනවා.එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩ සටහන කියන විදිහට දවසකට රුපියල් සියයකට අඩුවෙන් උපයන පවුල් ලක්ෂ දෙකකට වැඩිය උපයන පවුල් ලක්ෂ දෙකකට වැඩිය මේ රටේ ඉන්නවා.ගින්නක් කෙසේ වෙතත් මේ දුම නගින්නේ ගිනි පුපුරක් හරි තියෙන හින්දනේ.ඒ කියන්නේ මේ පවුල් අවුරුද්දටම උපයන්නේ රුපියල් තිස් හයදාහයි.ජන හා සංඛා ලේඛන දෙපාර්තුමේන්තුව කියන විදිහට සාමාජිකයින් හතර දෙනෙක්ගෙන් යුක්ත පවුලකට මසක් ජීවත් වෙන්නත් රුපියල් හතලිස් දාහක් ඕනේ.මහ බැංකුව ආඩම්බරයෙන් කියන්නේ අපේ රටේ මනුස්සයෙක් අවුරුද්දකට රුපියල් ලක්ෂ හතරකට වඩා හොයනවා කියලා.ඉතින් අපේ හාමුදුරුවනේ මේක හැම මනුස්සයෙක්ම ලක්ෂ තුනහාමාරක් පිට රටට නය වෙච්ච සංවර්ධිත රටක්. කාරණය පිට පැනලා හුඟක් දුර ගිහින්.ඒත් මේ කොච්චි පෙට්ටි වලින් තමන්ට හම්බ උණු කොමිස් මුදල රුපියල් කෝටි 10 ඉක්මවනවා කියලා ප්‍රසිද්දියේ කියපු ඇමතිවරු ඉන්න රටක්.නොකියන කොමිස් කෝටි කී දාහක්ද දන්නේ නෑ.මහා බැංකු වාර්තා වල තියන විදිහට රාජ්‍ය ආයතන පහක විතරක් පාඩුව රුපියල් කොටි දහ අටදහස් පන්සියක් අපේ හාමුදුරුවනේ.මේ ඔක්කොගෙම ලොක්කෝ සුදු අඳින අපේ ගරු ඇමතිවරු.මේ ඇමතිවරුන්ට මාසෙකට රුපියල් හැට පන්දාහක පඩියක් හම්බ වෙනවා. අපි නම් ගෙදර වියදම ඔක්කොම පිරි මහන්න ඕනේ මාසේ අන්තිමට හම්බු වෙන තුට්ටු දෙකෙන්නේ.ඇමති තුමන්ලාට එහෙමද?ජල විදුලි බිල් වලට රුපියල් ලක්ෂයයි.වාහනයේ පෙට්‍රල් වලට රුපියල් ලක්ෂයයි.පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානයෙන් බේත් හේත් නොමිලේ.දුරකථන නඩත්තුව රජයෙන්.තව කීයක් නම් ජාතිද?
ඒ කියන්නේ හරියට ගත්තොත් ඒ ඇත්තන්ගේ මාසික පඩිය රුපියල් ලක්ෂ දහය පනිනවා.මේ ඔක්කොම අපේ සල්ලි.කිරි පිටි පැකට් එකෙන් පෙට්‍රල් ලීටරෙන් සීනි පරිප්පු ටිකෙන් ගන්න බදු අපේ හාමුදුරුවනේ අපේ හාමුදුරුවනේ මේ රටේ ඔබ වහන්සේලා විසිතුන්දාහක් වැඩ වසනවා.ආඩම්බරයි කියන්න මේක ධර්මද්වීපයක්.උදේ පාන්දර හතර පැත්තෙන්ම ඇහෙන්නේ පිරිත්.රෑ දහය පහු වුනත් එහෙමයි.එහෙව් රටේම ලක්ෂ දහතුනක් වන රාජ්‍ය සේවකයන්ගෙන් මාසිකව රුපියල් දහය ගානේ කපා ගන්න ආණ්ඩුව තීරණයක් අරන්. ඒ ඔබ වහන්සේලාගේ යහපතට.ඒ ඔබවහන්සේගේ ආරක්ෂාවට.ඔබ වහන්සේව රක්ෂණය කරන්න.අපේ හාමුදුරුවනේ හිඟන්නාගේ පාත්තරේට හෙන හුරා වැටුනා වගේ වැඩක්.මම කියන්නේ ලොකු ලොකු පත්තර ඕනා තරම් තියෙද්දී අනිත් පාත්තර ඕනා තරම් තියෙද්දී මේ හිඟන්නාගේ පාත්තරෙටම හෙන හුරා වැටිච්චි හැටි.රාජ්‍ය ආයතනයක් වන ජන හා සංඛා ලේඛන දෙපාර්තුමේන්තුවෙන් අහලා බලන්න. ඒ මහත්තුරුන්ගේ සංඛා ලේඛන වලින්ම ඔප්පු කරලා තියෙන ඒවායින් මේ කියන්නේ. ඒවාගේ තියෙන හැටියට. රාජ්‍ය සේවකයා කියන්නේ හිඟන්නෙක් අපේ හාමුදුරුවනේ. ඇත්තමයි මාසෙකට රුපියල් හතලිස් දාහක් ගන්න රාජ්‍ය සේවකයෝ මේ රටේ කීයෙන් කී දෙනාද ඉන්නේ. ඉතින් අපේ හාම්මුදුරුවනේ ඔබ වහන්සේගේ ආරක්ෂාව වෙනුවෙන් මේ රුපියල් දහය මාස් පතා කපා ගන්න දැනටමත් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය අනුමැතිය දීලා ලු. මම නෙමේ කියන්නේ. බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශයේ ලේඛම් M.K.B.දිසානයක මහත්තයා. බෞද්ධ පුනුරුදයක් ඇති කරන්නලු මේ වැඩේ කරන්නේ. බුද්ධ ශාසන ඇමති විදිහට ගරු අගමැති තුමාලු මේ වැඩේ කරන්න කියලා උපදෙස් දුන්නේ. අපූරුයි අපේ හාමුදුරුවනේ. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ. අපියි අපේ දාඩිය - මහන්සියි අනුන්ගේ. අපේ ගරු ඇමති තුමන්ලාට අලුතින් ගෙවල් හදන්න රුපියල් ලක්ෂ 70000ක් වෙන් කරලා තියෙනවා. පිහිනුම් තටාකද කාය වර්ධන මධ්‍යස්තානද, විනෝද ක්‍රීඩා මධ්‍යස්ථාන, මේ ඔක්කොම මේ ගෙවල් සංකීරණයේ තියෙනවා. ආඩම්බරයි අපේ හාමුදුරුවනේ.එත් අපේ කිරි පිටි පැකට් එකෙන් සීනි පරිප්පු ටිකෙන් ගහන බදු වලින් එකතු කර ගත්ත සල්ලි සමෘදිය ධීවරයන්ගේ භූමිතෙල් සහනාධාර කපලා ඉතුරු කර ගත්ත සල්ලි "උන්ට බඩගිනි කියන්න ඉඩදීපල්ලා"අඩුම තරමේ අපේ හාමුදුරුවෝ එහෙමවත් කියනවානම්.හිඟන්නගේ පාත්තරේට හෙන හුරා ගහපුදෙන් කියලා කට පියා ගන්න තිබුනා.කරුමෙට ඔබ වහන්සේත් වැඩිපුර පිරිත් නූල් බන්දින්නේත් ඒ ඇත්තන්ටම තමයි. හැබැයි අපේ හාමුදුරුවනේ බොහොම ශාන්ත දාන්තව මහා පොලව යටට වෙලා ඉන්න ගිනි කඳු පුංචි තැනකින් පුපුරලා එලියට එන්නේ මහා විනාසයක් කරගෙන. එතකොට හොඳටම පරක්කු වැඩයි.
එහෙනම් මට අවසර.ආයෙත් දවසක හමුවෙමු.
මීට ශාලික විමලසේන
12:29 AM
Unknown

Posted in: