අපේ ඇමතිලා යන්න කැමතිම පූජනීය ස්ථානයන් ~ niruwatha

Saturday, May 3, 2014

අපේ ඇමතිලා යන්න කැමතිම පූජනීය ස්ථානයන්

කතරගමයි කිරිවෙහෙරයි වැන්දම දුක් කරදර ඉවරයි - ගීතා කුමාරසිංහ 
සාමාන්‍යයෙන් මම වැඳුම් පිදුම් කරන්න යන්න කැමතිම කතරගමට තමයි. කතරගම දේවාලයයි, කිරි වෙහෙරයි. එතැනට ගියාම මගෙ හිතේ තියෙන දුක් කරදර සියල්ලම පාහේ අමතක වෙනවා. කතරගම දේවාලයත් කිරිවෙහෙරත් සම්බන්ධයෙන් බොහෝ කාලයක් තිස්සේ මගේ හිතේ විශ්වාසයක් තියෙනවා. හැබැයි මම කවදාවත්ම මගේ ජීවිතේ ලොකු ලොකු දේවල් නම් දෙවියන් ඉස්සරහට ගිහිල්ලා ඉල්ලලා නෑ. එහෙම ඉල්ලපු දෙයක් ලැඛෙනවා කියලා හැඟීමකුත් නෑ. ඒත් එතැනට ගියාම මගේ මනස ඉතාම සැහැල්ලු වෙනවා. හිතේ සහනය උදා කරගන්න යනවා.

හැබැයි පසුගිය කාලෙම මට කතරගම යන්න ඉස්පාසුවක් ලැබුණේ නෑ. හෙට අනිද්දාවත් යන්න ඕන කියලා හිතාගෙන ඉන්නේ. මේ දවස්වල ගමේ ඉන්න නිසා මට හරියට වැඩ. අපේ පවුලේ කට්ටිය සේරම එකතුවෙලා තමයි මේ ගමන යන්නේ. හරිම ගෞරවයෙන් කට්ටියම එකතුවෙලා ගිහින් වැඳ පුදාගෙන එනවා. ඉතාම සතුටින් සහභාගි වෙන වන්දනා ගමනක්. 



පාර්ලිමේන්තුව ළඟ තියෙන ඇලිකෙවෙල හාමුදුරුවන්ගෙ පන්සල තමයි - ඩිලාන් පෙරේරා
මම සාමාන්‍යයෙන් නිතරම වගේ යන එන පන්සල තමයි පාර්ලිමේන්තුව ආසන්නයේම තියෙන ඇලිකෙවෙල හාමුදුරුවන්ගේ පන්සල. ආගමික කටයුත්තකට ස්වාමීන් වහන්සේගේ උපකාරය අවශ්‍ය වුණත්, හිතේ ප්‍රශ්නයක් තිබුණත්, උපදේශයක් අවශ්‍ය වුණත් මම යන්නේ ඒ පන්සලට තමයි. අපිත් එක්ක විතරක් නෙවෙයි පන්සලට යන එන කා සමඟත් හරිම සුහදශීලීව කතා කරන ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේ තමයි අපේ සෑම ආගමික කටයුත්තකටම වැඩම කරන්නේ. ධර්මය දේශනා කරද්දි අහගෙන ඉන්න අයගේ අවධානය දිනාගෙන හරිම ලස්සනට ඒ ධර්මය දේශනා කරනවා. ඒ නිසා ඒ පන්සල ගැන පවා විශේෂ ආකර්ෂණයක් මගේ හිතේ තියෙනවා. ඉඩක් ලැබුණ හැම වෙලාවකම මම මේ පන්සලට ගොඩ වෙනවා. හාමුදුරුවෝ බැහැ දැකලා කතා බහ කරලා නිදහසේ වැඳලා පුදලා එන්න පුළුවන් තැනක්.


ජය ශ්‍රී  මහා බෝධියයි දළදා හාමුදුරුවොයි - සජිත් ප්‍රේමදාස 

එහෙම එක සිද්ධස්ථානයක් කියලා නෑ. හැබැයි ජයශ්‍රී  මහා බෝධියත්, දළදා හාමුදුරුවොත්, කතරගම කිරිවෙහෙර සහ දේවාලයත් යන සිද්ධස්ථාන සම්බන්ධයෙන් මගේ හිතේ අසීමිත ගෞරවයක් තියෙනවා. මේ සිද්ධස්ථාන තුනම මම බොහෝ විට වැඳුම් පිදුම් කරනවා. මම පුංචි කාලේ මට මතකයි තාත්තයි අම්මයි අපිව මේ සිද්ධස්ථාන වඳින්න එක්කරගෙන යනවා. එහෙම ගිහින් බාරහාර වෙලා බාර ඔප්පු කරලා අපිට හොඳට පුරුදුයි. පොඩි කාලේ ඉඳලම පුරුදු කරපු විදියට අදටත් මමයි බිරියයි ජයශ්‍රී  මහා බෝධියට, කතරගමට, දළදා මාලිගාවට යන්න අමතක කරන්නේ නෑ. ඒක දැන් කාලයක් තිස්සේ පුරුදු පුහුණු කරගෙන ආපු ගුණාංගයක්. 

ගෞරවයෙන්ම වැඳුම් පිදුම් කරන්නෙ මඩු පල්ලියට තමයි - සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ 




පොඩි කාලේ ඉඳලාම ඉතාම ගෞරවයෙන් වැඳුම් පිදුම් කරන සිද්ධස්ථානයක් තමයි මඩු පල්ලිය. අවුරුද්දකට සැරයක් නම් අනිවාර්යයෙන්ම මේ මඩු පල්ලිය වැඳ පුදා ගන්න යනවාමයි. අදටත් ඒක පුරුද්දක් විදියට කරගෙන යනවා. ලොකු භක්තියකින් තමයි මේ ගමන යන්නේ. මඩු පල්ලිය අයිති වෙන්නේ මන්නාරම දිස්ත්‍රික්කයට. අවුරුදු 450ක විතර පැරැණි ඉතිහාසයක් මඩු පල්ලියට තියෙනවා. ලංකාව පුරාම තිඛෙන කතෝලික සිද්ධස්ථාන අතරින් මඩු පල්ලියට හිමි වෙන්නේ සුවිශේෂී ස්ථානයක්. ජේසු ස්වාමි දරුවන්ගේ මවු තුමියට (දේව මෑණියන්ට) කැප කරපු පල්ලියක් නිසා කිතුනුවන් ඉතාම ගෞරවයෙන් වඳින පුදන සිද්ධස්ථානයක්. මිනිස්සු ඉතා විශාල ප්‍රමාණයක් මේ මඩු පල්ලිය වන්දනාමාන කරන්න එනවා. ඉතිං මමත් මගේ දරුවොත් සෑම අවුරුද්දක් පාසාම මඩු පල්ලියට ගිහින් වඳිනවා. ආගමික අතින් විශාල වටිනාකමක් තිඛෙන පල්ලියක්. කොහොමටත් හිතට දුකක් කරදරයක් දැනුනම මම පෞද්ගලිකව යාඥා කරනවා. එහෙම නැතිව සෑම විශේෂ අවස්ථාවකදීම මඩු පල්ලියට යනවා.


ඊශ්‍රායලයේ ජෙරුසෙලම තමයි - උපේක්ෂා ස්වර්ණමාලි 



මම කිතුනු දහම අදහන කෙනෙක් නිසා ගොඩක් වෙලාවලට මගේ හිත ගත්තේ මගේ හිතේ ලොකු ගෞරවයක් ඇති වුණේ ඊශ්‍රායල්වල ජෙරුසෙලමෙදි තමයි. ජීවිතේ එකම එක දවසක් මට ජෙරුසලමට යන්න වාසනාව උදා වුණා. ආයේ මට යන්න පුළුවන් වෙයිද කියලා කියන්නවත් මම දන්නේ නෑ. එතැනදී මට කිතුනු දහම පිළිබඳ වගේම ජේසුස් වහන්සේ පිළිබඳ ලොකු හැඟීමක් ඇති වුණා. මට ජීවිතේ එක පාරක් ලැබුණ මේ අවස්ථාව උදා කරගන්න විශාල මුදලක් වැය වුණෙත් නෑ. අපි කලාකරුවෝ කීප දෙනෙක් සංගීත සන්දර්ශනයකට විදෙස් ගතවන අවස්ථාවේදී තමයි ඒ අවස්ථාව උදා වුණේ. ඒ ඇරුණාම මගේ හිතට දුකක් කරදරයක් ඇති වුණ හැම වෙලාවකදීම මම කැමැති මගේ කාමරයේ තනිවෙන්න. මේ වෙද්දි අපි කිසියම් ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඉන්න නිසා නිදහසේ ආගමික සිද්ධස්ථානයකට ගිහිල්ලා වඳින්න තියෙන ඉඩකඩ හරි අඩුයි. වැඩිවෙලා පැත්තකට වෙලා නිදහසේ තනියම ඉන්න බෑ. හිතේ හැටියේ වඳින්න බෑ. ඉතිං දුක නිවාගන්න හරි අපහසුයි. ජේරුසෙලමේ ගියාම මගේ හිතට දැනුණු සතුට බෞද්ධ කෙනෙක් දඹදිව ගියා වගේ සතුටක්. 


කතරගම දේවාලයයි කිරි වෙහෙරයි - පණ්ඩු බණ්ඩාරනායක 


හැම අවුරුද්දෙම දෙසැම්බර් 31 වැනිදා රෑට අපි කතරගම යනවා. හරියටම අවුරුද්ද ලබද්දි අපි කතරගම දේවාලයේ පූජාවට වගේම කිරිවෙහෙරේ පැවැත්වෙන පින් කමටත් සහභාගි වෙනවා. කුඩා කාලයේ ඉඳලම අපි මේ විදියට අලුත් අවුරුද්දට ඉන්නේ කතරගම තමයි. අපේ තාත්තයි අම්මයි අපිවත් අරගෙන කතරගම යනවා. ඒ නිසා දීර්ඝ කාලයක් තිස්සේ පැලපදියම් වුණ විශ්වාසයක් තමයි කතරගම පූජා භූමිය සම්බන්ධයෙන් මගේ හිතේ තියෙන්නේ. ලොකු භක්තියක් විශ්වාසයක් තියෙනවා. අවශ්‍ය නම් භාර හාර වෙන්න පවා පුළුවන්. ඊටත් වඩා මනසට දැනෙන සුවය වටිනවා. කොහොමත් මම මාස දෙකකට සැරයක්වත් කතරගම යනවා. හැබැයි කීපාරක් ගියත් 31 වැනිදා රෑට නම් අනිවාර්යෙන්ම මමත් මගේ ගෙදර උදවියත් ඉන්නේ කතරගම. මම අලුත් අවුරුද්ද ආරම්භ කරන්නේ දේවාලයටත් කිරිවෙහෙරටත් වන්දනාමාන කළාට පස්සේ. 

26 පාරක් මක්කම ගිහින් තියෙනවා - අබ්දුල් කාදර් 

ලංකාවේ තියෙන හැම පල්ලියක්ම මට එකයි. මම ඒ හැම පල්ලියකටම එක වගේ ගරු කරනවා. හැබැයි මම හුඟාක්ම යන්න කැමැති මක්කමට. හජ්ජි උත්සවය වෙනුවෙන් මම මක්කමට 26 වතාවක් ගිහිල්ල තියෙනවා. තව උම්රා කියලා තියෙනවා. ඒ වෙනුවෙන් 31 වතාවක් ගිහිල්ල තියෙනවා. මක්කම කියන්නේ නබි නායකතුමා සිහි කරලා වන්දනාමාන කරන්න පුළුවන් ඉහළම තැන. ලක්ෂ ගණන් මිනිස්සු සෑම වසරක් පාසාම මක්කමට එනවා.

ලංකාවේ නම් සෑම මුස්ලිම් පල්ලියක්ම විතරක් නෙවෙයි හැම කතෝලික පල්ලියක්ම හැම පන්සලක්ම මගේ ගෞරවයට පාත්‍ර වෙනවා. මම ගොඩක් වෙලාවට පල්ලිවලට පන්සල්වලට යන එන කෙනෙක්. ස්වාමීන් වහන්සේ පවා මාත් එක්ක බොහොම හිතවත්. මම ගොඩක් උදවු උපකාර පවා කරනවා. ආගම් හෝ ජාති භේදයක් මගේ හිතේ නෑ.   


ජය ශ්‍රී  මහා බෝධියයි දළදා මාලිගාවයි - රෝහණ දිසානායක



පුංචි කාලේ ඉඳලම ශ්‍රී  දළදා වහන්සේ වැඳ පුදාගන්න වගේම අනුරාධපුර ජයශ්‍රීමහා බෝධීන් වහන්සේ වැඳ පුදාගන්න යන පුරුද්ද තිබුණා. ඉතාම ගෞරවයෙන් වන්දනාමාන කරන සිද්ධස්ථාන විදියට මේ ස්ථාන හඳුන්වා දෙන්න පුළුවන්. මමත් මගේ බිරියත් දරුවන් දෙදෙනාත් සෑම වසරක් පාසා වගේම පුළුවන් හැම වෙලාවකම ජය ශ්‍රීමහා බෝධියටත් දළදා මාලිගාවටත් යනවා. ඒ අපි හැමෝම ගොඩක්ම ආදරෙන් සතුටින් එකට එකතු වෙලා යන ගමනක්.


සියලුම දානයන්ට වඩා උතුම්ම දානය වන්නේ ධර්ම දානය. අපේ අතිගරු ජනාධිපතිතුමා දීර්ඝ කාලයක සිට කරගෙන එනවා වගේම මමත් අපේ ගෙදර ධර්ම දේශනා පින්කමක් කරනවා. ඒ සෑම වෙසක් පුර පසළොස්වක පොහොය දිනයට. මෙවර ඒ ධර්ම දේශනය පැවැත්වෙන්නේ 96 වැනි වතාවට. දැන් නම් මම හුඟක්ම ආශාවෙන් බලාගෙන ඉන්නේ වෙසක් පොහොය උදාවෙන කල් තමයි. මොකද බිරිය, දරුවෝ හැමෝම එක්ක එකට එකතු වෙලා බොහොම ආසාවෙන් සංවිධානය වන කටයුත්තක්නේ.

0 comments:

Post a Comment