ගුද මාර්ගය කුලියට දී සල්ලි හොයන අලුත්ම විදිහ ~ niruwatha

Sunday, May 25, 2014

ගුද මාර්ගය කුලියට දී සල්ලි හොයන අලුත්ම විදිහ

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සිදුවන මත්කුඩු ජාවාරම පරයා ඒ තැනට දැන් පත්ව ඇත්තේ රත්රන් හොරෙන් ගෙන යාමේ ජාවාරමය. නීති විරෝධී ලෙස ඉන්දියාවට රත්රන් ගෙන යන කේන්ද්‍රස්ථානය බවට දැන් පත්ව ඇත්තේද ලංකාව බව සඳහන් වේ. ඊට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ ඉන්දියාවට වඩා ලංකාවේ රන් මිල පහළ අගයක් ගැනීමය. ඉන්දියාවේ රත්රන් මිල ඉහළ යාමට හේතු වී ඇත්තේ එරට විසින් මෑතකදී රන් සම්බන්ධයෙන් පනවනු ලැබ ඇති බද්දකි.

ආරංචි මාර්ග අනාවරණය කරන ආකාරයට අනුව ඉන්දියාවෙන් මත්ද්‍රව්‍ය මෙරටට ගෙන එනවාට වඩා මෙරටින් ඉන්දියාවට රන් ගෙනයාම ජාවාරම්කරුවන්ට වාසිදායකය. මෙරටින් එරටට රන් ගෙනයාමේ එක් ගමන් වාරයකට තැරැව්කරුවෙකුට ලැබෙන කුලිය ඉන්දියානු රුපියල් ලක්ෂ දෙක තුනකට ආසන්න බව පැවසේ. ශ්‍රී ලංකා රුපියල්වලින් එය ඊට වඩා දෙගුණයකට වැඩි අගයක් ගනී. අනෙක් අතට මත්ද්‍රව්‍ය ගෙන යනවාට වඩා හොර රහසේ රන් ගෙන යාම ආරක්ෂාකාරී බවද සඳහන්ය. ඒ මත්ද්‍රව්‍ය සමග හසුවූ විට ලැබෙන මරණීය දණ්ඩනය තරම් දරුණු දඬුවම් ඊට හිමි නොවන නිසාය. වැඩිම වුවහොත් ලැබෙන දඬුවම රන් තොගය රාජසන්තක වී දඩ මුදලක් නියම වීම පමණි. මේ හේතුව නිසාම මතෛක් කාලයක් මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට ඇතැම් තැරැව්කරුවන් නැතිනම් කුලීකරුවන් භාවිතා කළ තම ගුද මාර්ග දැන් වැඩි වශයෙන් කුලියට දෙන්නේ යැයි සඳහන් වන්නේ මෙරටින් රන් තොග ඉන්දියාවට හොර රහසේ රැගෙන යන්නටය. එම ගුද මාර්ගද එසේ මෙසේ ඒවා නොව එකවර රන් කිලෝ එක දෙක සඟවා රැගෙන යා හැකි ඒවාය.

මෙසේ ගුද මාර්ග රන් ආකර බවට පත්වන්නේ රන් භාණ්ඩ පැළඳගෙන සහ ගමන් මලු තුළ සඟවාගෙන හොර රහසේ රැගෙන යන්නට ගොස් මෙරට මෙන්ම ඉන්දියානු රේගු බලධාරීන්ගේ අත්අඩංගුවට පත්වන තැරැව්කරුවන්ගේ ගණන දිනෙන් දින ඉහළ යන්නට වූ බැවිනි. අනාවරණය වන පරිදි ගුද මාර්ග වල පමණක් නොව, ස්ත්‍රීන්ගේ ලිංගික අවයව තුළ සඟවාගෙනද මෙරට සිට ඉන්දියාවට රන් කැබලි රැගෙන යන තැරැව්කාරියෝද සිටිති. එසේම රබර් කොපු තුළ බහා රන් කැබලි ගිල උදරයේ සඟවාගෙන මෙරටින් රැගෙන යන්නට සැදී පැහැදී සිටින්නන්ද නැතුවාම නොවේ. ඒ අය කාලයක් තම උදරය කුලියට දුන්නේ හොරොයින් ප්‍රවාහනයටය. දැන් කන්ටේනර් පිටින් හෙරොයින් මෙරටට ගෙන එන බැවින් හෙරොයින් කිලෝ භාගයක් කිලෝවක් ප්‍රවාහනය කරන්නට ජාවාරම්කරුවන්ට උදර කුලියට ගන්නට අවශ්‍ය නැත. දැන් ඒ උදර කුලියට ගන්නේ රන් ජාවාරම්කරුවන්ය.

costom1
ඉන්දියානු මාධ්‍ය වාර්තා සඳහන් කරන ආකාරයට අනුව කිලෝ 10 ක රන් භාණ්ඩ පැළඳ වන්දනාකරුවන් ලෙස එරටට පැමිණි ශ්‍රී ලාංකිකයන් 56 දෙනෙකු මෑතකදී එරට රේගු අත්අඩංගුවට පත්ව තිබේ.  ඒ කේරළ ප්‍රාන්තයේ පිහිටි ප්‍රධාන ජාත්‍යන්තර ගුවන්තොටු‍පොළ වන කොචින් ගුවන් තොටු‍පොළේදීය. ‘ටයිම්ස් ඔෆ් ඉන්ඩියා’ පුවත්පත වාර්තා කර තිබුණු ආකාරයට අනුව එම රන් වල වටිනාකම ඉන්දියානු රුපියල් කෝටි තුනකට අධිකය. ලංකා මුදලින් එම අගය රුපියල් කෝටි හය ඉක්මවනු ඇත. 

පරීක්ෂණවලින් අනාවරණය වී තිබුණු ආකාරයට අනුව මේ ආකාරයෙන් රන් භාණ්ඩ පැළඳ ඉන්දියාවට ගිය එම වන්දනා නඩය සැබෑ ලෙසම වන්දනාවේ ගිය කණ්ඩායමක් නොවේ. ඉන්දියාවත් ලංකාවත් අතර රන් ජාවාරමේ නිරතව සිටින ජාවාරම්කරුවන්ගේ කුලීකරුවන් පිරිසකි. මේ කණ්ඩායමට කාන්තාවන් 28 දෙනෙකුම ඇතුළත් වීම විශේෂත්වයකි.

එම පිරිස අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව දිගින් දිගටම එසේ රන් භාණ්ඩ පැළඳගෙන ඉන්දියාවට ඇතුළු වීමට සූදානම් වූ ශ්‍රී ලාංකිකයන් රැසක්ම එරට ගුවන් තොටු‍පොළවලදී අත්අඩංගුවට පත් විය. ඒත් සමගම මෙරටින් ඉන්දියාවට යන ගුවන් මගීන්ට තමන් පැළඳ යන රන් භාණ්ඩ සම්බන්ධයෙන් සීමා පනවන්නටද ශ්‍රී ලංකා රේගු බලධාරීන්ට සිදුවිය. ඒ කාන්තාවකට පැළඳගෙන යා හැකි රන් ප්‍රමාණය පවුම් පහළොවකටත්, පිරිමින් සහ බාලවයස්කරුවන්ට පවුම් පහකටත් වශයෙන් සීමාවක් පනවමිනි.

ශ්‍රී ලංකා රේගුවේ මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා සඳහන් කරන්නේ එම සීමාව දැන් තරමක් ලිහිල් කොට ඇති බවය. එය එසේ යැයි කියා ප්‍රමාණය ඉක්මවා රන් භාණ්ඩ පැළඳ ගුවන් ගත වන්නට ගුවන් මගීන්ට ඉඩ නොදෙන බව ද ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර සිදුවන මෙම රන් ජාවාරම දැන් සූක්ෂම මාෆියාවක් දක්වා වර්ධනය වී ඇති බවද පැවසේ. ඒ පිටුපස කෝටි ප්‍රකෝටිපතියන්, ප්‍රභූවරුන් මෙන්ම ආරක්ෂක අංශවල සාමාජිකයන්ද සිටින බවට තොරතුරු හෙළි වී තිබේ. ඔවුන්ගේ මුදලට වැඩ කරන කුලීකරුවන් ගුවන්තොටු‍පොළවල සේවකයන් අතරද සිටින බව සඳහන් වේ. පසුගිය කාලයේ අවස්ථා කිහිපයකම එවන් පුද්ගලයන් ගැන තොරතුරු අනාවරණය වූ බවද ආරංචි මාර්ග සඳහන් කරයි. එපමණක් නොව ‍පොලීසියේ ඇතැම් අංශවල නම්ද මේ හා බැඳී කියැවුණු බවද සඳහන්ය. මෙවැනි ‘කුලීකරුවන්’ කරන්නේ ආරක්ෂාකාරීව ගුවන්තොටු‍පොළ තුළට රන් තොගය රැගෙන ගොස් ඉන්දියාවට එම රන් තොගය ගෙන යන්නට සූදානමින් සිටින ගුවන් මගියා අතට පත් කිරීමය. ඒ වන විට එම මගියා රේගු පරීක්ෂාවන්ට මුහුණ දී ගුවන් යානාවට ගොඩවීමට සූදානමින් සිටින බැවින් කිසිදු පරීක්ෂාවකට ලක් නොවී ඉතා පහසුවෙන් එම රන් තොග ඉන්දියාවට රැගෙන යන්නට ජාවාරම්කරුවන්ට අවකාශ ලැබෙනු ඇත. 

කාලයක් තිස්සේ බලධාරීන්ගේ ඇස් වසා කරගෙන ගිය එම ජාවාරම හෙළි වීමෙන් පසුව ජාවාරම්කරුවෝ එම ක්‍රියා මාර්ගය අතහැර ගුද මාර්ග රන් ආකර බවට පත් කරගත්තෝය.

තතුදත් තොරතුරු අනාවරණය කරන ආකාරයට අනුව ගෙවී ගිය තෙවසර තුළ ගුදමාර්ගයේ රන් සඟවාගෙන ඉන්දියාවට යාමට ගොස් හසුවූ පුද්ගලයන් ගණන විස්සකට වැඩිය. රන්වල බරද කිලෝ විස්සකට වැඩි මිස අඩු නැත. රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණි මහතා සඳහන් කරනුයේ මෙම වසරේ ජනවාරි 01 වෙනිදා සිට අප්‍රේල් 30 දක්වා කාලය තුළ පමණක් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටු‍පොළේදී රන් තොග සමග පුද්ගලයන් 66 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවය. ඒ අය සතුව තිබි සොයා ගත් රන් ප්‍රමාණය කිලෝ විසිහතහමාරකි. එහි වටිනාකම පමණක්   රුපියල් කෝටි දාහතරකට අධිකය. එම රන් ගෙනයන්නට වූයේ ඉන්දියාවටය.
එසේ හොර රහසේ මෙරටින් ඉන්දියාවට රන් ගෙන යනවාට අමතරව ඩුබායි සහ සිංගප්පූරුව යන රටවලින් මෙරටටද රන් ගෙන එනු ලබන බව රේගු තොරතුරු අනාවරණය කරයි. එම රටවල නිදහස් වෙළඳ ‍පොළක් පැවැතීම හේතුවෙන් රන් මිල මෙරටට වඩා අඩු බැවින් ජාවාරම්කරුවන් එම රටවල සිට මෙරටට රන් තොග වශයෙන් හොර රහසේ රැගෙන විත් මෙරට සිට ඉන්දියාවට රැගෙන යන බව රේගු බලධාරීන්ගේ විශ්වාසයය. 

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සිදුවන රන් ජාවාරමේ තරම කොතරම්දැයි පැහැදිලි වන්නේ කිලෝ ගණනින් රන් තොග මුහුදු මාර්ග ඔස්සේද ඉන්දියාවට හොර රහසේ ගෙන යන බව ඉන්දියානු ආරක්ෂක අංශ විසින් හෙළිකරගෙන තිබිම නිසාය. ඒ ඉකුත් පෙබරවාරියේදී කෙරී ඇති වැටලීමකදීය. ඉන්දියානු මාධ්‍ය වාර්තාවල සඳහන්ව ඇති ආකාරයට අනුව එම වැටලීම කරනුයේ තමිල්නාඩු ‍පොලීසිය විසිනි. ඒ තමිල්නාඩුවේ මණ්ඩපම් දුම්රිය ස්ථානයේදීය. එම වැටලීමේදී මෙරටින් රැගෙන ගිය ඉන්දියානු රුපියල් කෝටි 10ක් පමණ වටිනා රන් කිලෝ 35 ක් අඩංගු උර කිහිපයක් සොයා ගන්නට ‍පොලීසිය සමත්ව තිබේ. එම රන් කිලෝ 35 මෙරට සිට මුහුදු මාර්ග ඔස්සේ බෝට්ටුවක සඟවා ඉන්දීය මුහුදු සීමාවට ගෙන ගොස් ධීවරයන් දෙදෙනෙකුට භාර දී ඇත්තේ ‘සාතික්’ නැමැති අයෙකු විසිනි. මුහුද මැදදී එම රන් තොගය භාරගත් ධීවරයන් දෙදෙනා එය රැගෙන යන්නේ රාමේෂ්වරම් වෙතය. එහිදී එම රන් තොගය ධීවරයන්ගෙන් භාරගන්නේ ‘මොහිදින්’ නැමැත්තෙකි. ඔහු ඉන්දියාවේ මදුරෙයි වැසියෙකි. රන් තොගය කුලී රථයකට පටවා ගන්නා ඔහු එය රැගෙන යන්නේ මදුරෙයි බලාය. ඒ යන අතර මග ඔහු ආරක්ෂක පියවරක් ලෙස කුලී රථයෙන් බැස ‍පොදු මගී බස් රථයකටද ගොඩවී එයින් බැස ගන්නේ මණ්ඩපම් දුම්රිය ස්ථානය අසලදීය. එතැන් සිට ඔහුගේ සැලසුම දුම්රියේ නැගී එම රන් තොගය ගෙන යාමය. ‍පොලීසිය එම රන් තොගය සොයා ගන්නේ එහිදීය. 

රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවට රත්‍රන් ගෙන ඒමටත් ශ්‍රී ලංකාවෙන් රන් රැගෙන යාමටත් නීතියෙන් තහනමක් පනවා නැති බවය. සීමා පැනවීමක් කර නැති බවද ඔහු සඳහන් කරයි. කළ යුතුව ඇත්තේ රේගුවට තමන් රැගෙන යන රන් ප්‍රමාණය දැනුම් දීම පමණකි. මෙරටට රන් ගෙන ඒමේදි සුළු බද්දක් අය කළත් රත්‍රන් මෙරටින් රැගෙන යාමේදී කිසිදු බදු මුදලක් අය නොකරන බවද ඔහු පවසයි. ( විදේශිකයන් රත්‍රන් රටින් රැගෙන යාමේදී ඒ සඳහා විනිමය පාලකවරයාගේ අනුමැතිය ලබා ගත යුතුය. නමුත් මේ කොන්දේසිය පවා ස්වදේශිකයන්ට බලපාන්නේ නැත.) මෙරට නීතියෙන් බාධාවක් හෝ සීමාවක් නැති වුවත් ඉන්දියාවට රත්‍රන් රැගෙන යන්නේ හොර රහසේය. ඊට හේතුව ඉන්දියාවේ රන් වලට පනවා ඇති බද්ද විශාල අගයක් ගැනීමයි. හොර රහසේ රැගෙන යන්නේ ඒ නිසාය.
මෙසේ රටට හොර රහසේ රත්‍රන් ගෙන ඒමත් රට තුළ ඇති රන් තොග හොර රහසේ පිටකිරීමත් රටේ ආර්ථික සමතුලිතභාවයට දරුණු පහරක් එල්ල කරන්නක් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතාගේ අදහසයි. ඒ තත්ත්වය මත හොර රහසේ මෙරටට රත්‍රන් ගෙන ඒමත් මෙරටින් හොර රහසේ රත්‍රන් රැගෙන යාමත් හැකි උපරිමයෙන් වැළැක්වීමට ශ්‍රී ලංකා රේගුව කටයුතු කරන බවද ලෙස්ලි ගාමිණී මහතා අවධාරණය කරයි.


0 comments:

Post a Comment