ලංකාවම පුදුම කල කතරගම දේවාලයේ අනුහස් ~ niruwatha

Saturday, May 17, 2014

ලංකාවම පුදුම කල කතරගම දේවාලයේ අනුහස්

කතරගම යනු පුරාවෘතයකි. යුග ගණනාවක්‌ තිස්‌සේ අප්‍රමාණ බැතිමතුන්ගේ වන්දනාවට පාත්‍රවු ශුද්ධ භූමියකි. ඒ පුදබිම ඇසුරෙහි සිදුවනු ලබන්නේයෑයි කියනා ආශ්චර්යන් නිරන්තරව ඇසේ. ජන විඥ්ඥනයේ තැන්පත්ව රෝපණය වු මෙම සංකල්ප විදුහුරු ඇසින් විමසීමට තැතනීම යුක්‌ති යුක්‌ත නොවේ. එබැවින් එය මෙතෙක්‌ අනාවරණය කර නොගත් වෙනම දැනුමක්‌ කොට සැලකීමට සමහර විද්වත්හු පවා රුචිවෙති. එහෙත් බැතිමත් මනුෂ්‍යයන්ගේ හදවත් වසාගෙන සැමදාම කතරගම ආශ්චර්යයේ අරුමය පවතී. මේ ඒ අසිරිය ගැන කතරගමදී අපට ඇසෙන එක්‌ මානයක කතා පෙළකි.

මෙම ලිපි පෙළ සකස්‌ කිරීමට අවශ්‍ය කරුණු එකතු කිරීම සඳහා අපි කතරගම දේවාලයේ බස්‌නායක නිළමේ තැන්පත් ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතා සහ කතරගම දේවාලයේ ප්‍රධාන කපු ධුරාන්දරය දරන සොමිපාල ටී රත්නායක ඇතුළු පැරැණි කපු මහත්වරුන් කිහිපදෙනකු සමගම දේව හාස්‌කම් ගැන කතා බස්‌ කළෙමු. එහෙත් ඔවුන්ට දේව හාස්‌කම් හෙළිදරව් කිරීම කතරගම දෙවි හාමුදුරුවෝ වරම් දී ඇත්තේ සීමා මායිම් තුළය. ඔවුහු නොකියන ආශ්චර්යමත් තතු දැනගැනීමේ අදහසින් කතරගම ප්‍රදේශයේ පැරැණි මිනිසුන් කිහිපදෙනකු සමග ද අපි කතා බස්‌ කළෙමු. මෙතැන් සිට පෙළ ගැසෙන්නේ ඔවුන් අත්දුටු සහ කණවැකුණු කතරගම ආශ්චර්මයත් කතාය.

මෙතෙක්‌ කාලයක්‌ කිසිදු මාධ්‍යයකින් හෙළිදරව් නොවූ ආශ්චර්මයත් සිදුවීම්ද මේ කතා එකතුවේ පෙළගැසෙන්නේය. කතරගම දේවාලයේ ප්‍රධාන කපු ධුරය දරන සොමිපාල ටී රත්නායක මහතා මේ කියන කතාවත් එවැනි හාස්‌කමකි.

"කතරගම දෙවිහාමුදුරුවන්ගේ අඩවියේ වැරැදි කරලා යහතින් ඉන්න නම් කොහෙත්ම බෑ. ඒක අප අත්දැකලා තියෙනවා.
ඡේ.වී.පී. කැරැල්ල කාලේ කතරගමට මහ නරක කාලයක්‌ උදා වෙලා තිබුණේ. ඡේ.වී.පී. නායකයෝ ගොඩක්‌ දෙනෙක්‌ කැරැල්ල මෙහෙව්වේ කතරගම ගම්වල හැංගිලා ඉඳගෙන. ඒ වගේම පොලිසිය සහ කැරලිකරුවන් අතර නිරත නිතර ගැටුම් ඇති වුණා. බැතිමතුන් කතරගමට එන්නේ නැතිව ගියා. කතරගම පාළුවටම ගියා. කතරගම පදිංචි මිනිස්‌සු ප්‍රශ්න ගොඩක අතරමං වුණා. කතරගම දෙවි හාමුදුරුවෝ කිසිම දවසක කතරගම මිනිස්‌සුන්ව බඩගින්නේ තියන්නේ නෑ. ඒත් ඡේ.වී.පී. කෝලාහලත් එක්‌ක කතරගම මිනිස්‌සුන්ට කෑම බීමත් අඩුපාඩු වුණා. ඔහොම ඉන්නකොට 1989 අවුරුද්දේ මහ පෙරහැරට ඡේ.වී.පී. කැරලිකරුවෝ බෝම්බ ගැහුවා. එදා පෙරහැරේ අන්තිම දවස. ජුලි 18 වැනිදා. රෑ 8.00 විතර පෙරහැර දේවාලයෙන් පිටත් කරලා මම දේවාලේ නැවතුණා. බොහෝම ලස්‌සනට පෙරහැර ඉදිරියට ගියා. මග දෙපස එකම හිස්‌ ගොඩක්‌. ටික දුරක්‌ පෙරහැර ගියාට පස්‌සේ මම කෑම කාමරයට ගිහින් පුහුල් දෝසි කෑල්ලක්‌ කාලා කහට එකක්‌ බොන්න ගත්තා විතරයි. ඩුම්... ගලා මහ සද්ධයක්‌ ඇහුණා. ඒ එක්‌කම මිනිස්‌සු මරලතෝනි දෙන හඬ ඇහුණා. මම ඒ පැත්තට යන්න හදනකොට අපේ කපු මහත්වරු මට යන්න දුන්නේ නෑ. ඒත් මම ඉස්‌සරහට ගියා. ඒ යනකොට කතරගම දෙවියන් වඩම්වපු වාසනා හස්‌ති රාජයා දේවාලය පැත්තට එනවා.

මම තව පියවර කිහිපයක්‌ ඉදිරියට ගිහින් ඈතාට කතා කළා... බොහෝම අමාරුවෙන් කොර ගහමින් ඈතා ඇත් පන්තියට ඇතුළු වුණා. ඇතාගේ කකුල් දෙක හොඳටම තුවාල වෙලා ලේ බේරෙනවා. ඒත් ඈතා කෙළින් සිටගෙන හිටියා. දවුල් හේවිසි ගැහුවේ නෑ. පාවඩ දැම්මේ නෑ. අපි ඉක්‌මනට ඇත් පිටින් දෙවියන්ව දේවාලයට වැඩම්මුවා. ඒ එක්‌කම ඈතා බිම වැතිරුණා. ඒ වැතිරුණාමයි සති ගාණක්‌ වෙදකම් කරලා තමයි ඈතාගේ තුවාල සුව කරගත්තේ. එදා පෙරහැරේ ගිය කිහිප දෙනෙක්‌ මැරුණා. විශාල පිරිසක්‌ තුවාල වුණා. කතරගම දේවාල භූමිය අපවිත්‍ර වුණා. පාන්දර පෙරහැර තියන්න බැරි වුණා. ඒ වතාවේ දිය කපන මංගල්‍යයත් තිබ්බේ නෑ.
කතරගම දෙවි හාමුදුරුවෝ කෝපවිෂ්ඨ විය. ගෙවී ගියේ මාස තුනකි. කතරගම ඉල් මහ මංගල්‍යයට පෙර කතරගම පූජා භූමිය තුළ බෝම්බ පුපුරවා අපවිත්‍ර කළ සියලුම දෙනාට එරෙහිව දෙවි හාමුදුරුවෝ දේව දඬුවම් පමුණු වූහ. කතරගම පෙරහැරට පහරදීමට පැමිණි සියලුම දෙනා මඟ තොටේ තැන් තැන්වල ටයර් සෑයට බිලි වූහ. අවසානයේ කැරලි නායක රෝහණ විඡේවීර ද හමුදා අත්අඩංගුවට පත් වී මියෑදුනේය. රට පුරා ඇවිළී ගිය ගින්න නිවිණි. තැන තැන පිළිස්‌සී ගිය මිනී කුණු වැටී තිබුණු රට පවිත්‍ර විය. නැවත වරක්‌ මිනිසුන්ට නිදහසේ ඇවිද යැමට වරම් ලැබිණි. පාළුවට ගිය කතරගම පූජා භූමියට නැවත වරක්‌ දහස්‌ සංඛ්‍යාත බැතිමත්හු පැමිණෙන්නට පටන් ගත්හ. කතරගම දේවාලයේ වත්පිළිවෙත් සිරිත් පරිදි නැවත සිදු විය. සතරදිග් භාගයෙන්ම බැතිමත්හු කතරගමට ඇදී ආහ. කතරගම මිනිසුන්ගේ ව්‍යාපාර ද දියුණු විය. 

කාලය ගෙවී ගියේය. පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්‌වා නිදහසේ ඇවිද ගිය මිනිසුන් තුළට නැවත මරබිය ඇතුළු විය. දකුණේ ගින්න නිවී ටික කාලයක්‌ යන විට නැවත උතුර පත්තු විය. දකුණේ ඇවිළී ගිය ගින්නට වඩා උතුරුකරයේ ගින්න ප්‍රබල විය. වැඩි කාලයක්‌ නොගොස්‌ ගින්න මුළු රටේම පැතිර ගියේය. පන්සල්, පල්ලි කෝවිල් සෑම පුදබිමක පාහේ ත්‍රස්‌තවාදී බෝම්බ පිපිර වූහ. ත්‍රස්‌තවාදිහු කතරගමට ද පහර දීමට කිහිප වතාවක්‌ම ක්‍රියාත්මක වුවද දේව අනුහසින් එය ව්‍යර්ථ විය. එහෙත් යුද්ධයේ අවසාන භාගයේ කතරගම දෙවි හාමුදුරුවන්ගේ අඩවියේ පිහිටි තල්ගස්‌මංකඩ හමුදා කඳවුරට කොටි ත්‍රස්‌තවාදීහු පහර දුන්හ. දෙමළ ජනතාවගේ දෙවියන් වූ කතරගම දෙවි හාමුදුරුවන් වැඩ සිටින අඩවියටත් ත්‍රස්‌තවාදීහු ප්‍රහර දුන්හ. කතරගම දෙවි හාමුදුරුවෝ කෝප වූහ. කොටි ත්‍රස්‌තවාදීහු තල්ගස්‌මංකඩට ප්‍රහාර දී මාස තුනක්‌ ගතවීමට පෙර ප්‍රහාරයට සහභාගී වූ සියලුම ත්‍රස්‌තයෝ හමුදාව අතින් මැරුම් කෑහ. දිගින් දිගටම එල්ල වූ හමුදා ප්‍රහාර හමුවේ නැවත කිසි ලෙසකින්වත් නැගී සිටීම නොහැකි වූ කොටි ත්‍රස්‌තවාදී නායකයා ඇතුළු චුට්‌ටෝ, පොඩ්ඩෝ, ලොක්‌කෝ සියලුම කොටි ත්‍රස්‌තවාදීහු නැත්තටම නැති වූහ. රට නිදහස්‌ විය. දකුණේ මිනිස්‌සු උතුරටත්, උතුරේ මිනිස්‌සු දකුණටත් සැක බිය අතහැර ගමන් කළහ. කතරගම පෙරහැරට එන පාද යාත්‍රාව නැවතත් ගමන් ආරම්භ කෙරිණි. දහස්‌ සංඛ්‍යාත මිනිසුන් දින සති ගෙවා ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, තිරික්‌කෝවිල්, සංගමන්කන්ද, තොරමාරි, පානම, කුඹක්‌කන්ඔය, යාල, කටගමුව හරහා කතරගම පුද බිමට සම්ප්‍රාප්ත වූහ. අලි, කොටි, වලසුන් ගහන මහ කැලෑ මැදින් සෑම වසරකම සිරිත් පරිදි පාද යාත්‍රාව ගමන් කළහ. 2008 වසරේද සිරිත් පරිදි බැතිමත්හු කතරගම මහ පෙරහැරට පාද යාත්‍රාවෙන් ගමන් කළහ. එසේ පාද යාත්‍රාවෙන් පැමිණි දමිළ බැතිමතකුට නොසිතූ ලෙස මැණික්‌ ගඟ මැදදි ප්‍රහාරයකට මුහුණදීමට සිදු විය. එනම් අමන පොලිස්‌ නිලධාරියකු මැණික්‌ ගඟේ දිය කපන මංගල්‍යයට සහභාගි වී සිටි පුද්ගලයකුට අමානුෂික ප්‍රහාරයක්‌ එල්ල කළේය. එම අමානුෂික පහරදීම මුල සිට අගටම කතරගම දිවයින වාර්තාකරු කේ. ඩී. දේවප්‍රිය අපගේ මාධ්‍ය සගයාගේ කැමරා කාචයේ සටහන් විය. එසැණින් එම පුවත ලෝකයේ සෑම අස්‌සක්‌ මුල්ලක්‌ නෑරම පියඹා ගියේය. මැණික්‌ ගඟ මැද සිටින බැතිමතකුට පොලිස්‌ නිලධාරියකු දෑත් ඔසවා පොල්ලකින් පහර දෙන ඡායාරූප එක දිඟට මාධ්‍යයෙන් ප්‍රදර්ශනය විය. 
"අනේ අපොයි. මෙහෙමත් මිනිස්‌සුන්ට ගහනවාද. මේ මිනිහට නම් හොඳක්‌ සිද්ධ වෙන්නේ නෑ..." ඒ ඡායාරූප පෙළ දකින සෑම කෙනෙක්‌ම එසේ මුමුණන්නට විය. ශුද්ධ භුමියකදී දේව මංගල්‍යයක්‌ අතරතුර පොලිස්‌ නිලධරයකු එල්ල කළ තිරිසන් ප්‍රහාරය මුළු ලෝකයම කම්පා කරවන්නට විය.

කතරගම පූජා භූමිය තුළ තවත් කළු පැල්ලමක්‌ ඉතිරි කර එවරද පෙරහැර අවසාන විය. එහෙත් එම ප්‍රහාරදීමට සම්බන්ධ පොලිස්‌ නිලධාරියාට එරෙහිව පොලිසියේ පැමිණිල්ලක්‌ සටහන් කිරීමට කිසිවකු ඉදිරිපත් නොවීය. එම පැමිණිල්ලත් කතරගම දෙවියන්ටම විභාග කිරීමට සිදු විය. දින කිහිපයක්‌ ගෙවී ගියේය. පොලිසියේ ඉහළ නිලධාරීන් ක්‍රියාත්මකව සිද්ධියට සම්බන්ධ පොලිස්‌ නිලධාරියාව එරාවුර් ප්‍රදේශයට මාරු කර යෑව්වේය. මාරුවෙන් පසු නිවාඩුවට නිවසට පැමිණි එම පොලිස්‌ නිලධාරියාට නැවත රාජකාරියට යැමට නොහැකි විය. 

අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි සිටි එම පොලිස්‌ නිලධාරියා තම බිරිඳ සමග යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී අම්බලන්ගොඩ දුම්රිය හරස්‌ මගෙහිදී යතුරු පැදිය දුම්රියේ ගැටිනි. අනතුරෙන් ඔහුව දුම්රිය මග තුළට විසි වී ඇති අතර පසු පස ගමන් ගත් තම බිරිඳව සහ යතුරුපැදිය දුම්රිය මගෙන් ඉවතට විසි වී ගොස්‌ තිබිණි. අනතුරින් පොලිස්‌ නිලධාරියාගේ බිරිඳට සිදුව ඇත්තේ සිරීම් තුවාල පමණි. දුම්රියේ ගැටුණු යතුරුපැදියට බරපතළ හානියක්‌ නැත. එහෙත් දුම්රිය මග තුළට විසි වූ පොලිස්‌ නිලධාරියා නම් හඳුනාගැනීමටවත් නොහැකි ලෙසට ජීවිතක්‍ෂයට පත්ව තිබිණි.

කතරගම පුදබිම තුළදී මෙන්ම කතරගම දෙවිහාමුදුරුවන්ගේ අඩවියේදී අකටයුතුකම් කරන කිසිම කෙනෙකු යහතින් වැජබීමට නොහැකි බව තතු දත්තෝ පවසන්නහ. එමෙන්ම කතරගම දේවාලයට ලැබෙන තුටු පඬුරු තම බූදලය කරගෙන රජ සැප විඳිමින් සිටි කපු මහත්වරුන් සිඟමනට ඇද වැටී ඇති අයුරු ගැන කතා කරන්නට අපි බලන සතියට ඉඩ තබාගමු.

4 comments:

Anonymous said...

waradi kireema minis gathiyaki .. samaawa deema dewa gathiyaki.. kata kahanawata kiyapu ewada me???? minihekwa maranda tharam darunu wenne dewiyoda yakkuda?

Anonymous said...

dewi kenek kawadawath minissu maranna uthsaha ganne na e wagema kopa wenneth na..katara gama dewiyan kiyanneth e wage pujaniya dewi kenek ... e dewi kena minissu maranna nemeyi minissunta pihita wena kenek..minissu maranawa nam minissunta wina karanawa nam e dewi kenek neme malaperethayek ..dewiyanta apahasa karanna epa me wage gon prawuththi dala.. yam kenek akusalayak karanam ekata prathipala ditta damma wedaniyawa paladenwa..waradi karapu ayata e widiyatayi eka paladeela tiyenne..nathuwa dewiyo daduwam deela neme..

Unknown said...

නිවැරදි කිරීමක් කල යුතුය. මෙහි සඳහන් වෙනවා කතරගම දෙවි යනු දෙමළ ජනයාගේ දෙවක් බව. එය වැරදි සහගත ප්‍රකාශයකි, වහාම නිවැරදි කල යුතුය. කතරගම දෙවියන්ගේ අයිතිය සිංහලයාගෙන් උදුරගෙන් ඉංග්‍රීසින් විසින් දෙමළුන් හට පවරා දුන්නේ 1818 කැරැල්ල කතරගම දේවාලයෙන් ආරම්ඹ කල නිසාය. සිංහලයාගෙන් පලි ගැනීමට ඒ දෙය කරන ලදී. දෙමළ ජනතාවගේ පාද යාත්‍රාව අරඹ කලේ එය සැමරීමට මිසක් ඔවුන්ගේ දෙවිකෙනෙක් නිසා නොවේ. කතරගම දෙවියන් යනු අපේ පෙර හෙළයෙක් වන මහසෙන් රජ තුමා බව ඉතිහාසය තුලින් ශක්ෂි දරයි. පැරැන්නෝ එම රජ පිලිමය්හක් කිරිවෙහෙරේ ඉදිකර ඇත්තේ ඒ නිසාවෙන්ය. මේ ලිපි ලියන අයගෙන් කරුණාවෙන් ඉල්ලා සිටින්නේ යමක් ඉදිරිපත් කිරීමේදී ඒ ගැන නිසි ඉතිහාස අද්යනයකින් ඉදිරිපත් කරන ලෙසත් , අපේ උරුමයන් වචන මාත්‍රයකින් වත් වෙන අයෙකුට පවා නොදෙන ලෙසත්ය.

Anonymous said...

maa nam pirisidu budu dahama adahanneki ema darmaye mevan udaviya netha,

Post a Comment