ගවයකුගේ හදවතෙන් ජීවත් වෙන දරුවෙක් ~ niruwatha

Sunday, June 1, 2014

ගවයකුගේ හදවතෙන් ජීවත් වෙන දරුවෙක්

හදවත් සැත්කම් වර්තමානයේදී සාමාන්‍ය සැත්කම් තරමටම සුලබයි. එහෙත් ඉපදී සති දෙකක් තුළ කුඩා බිලිඳෙකු විවෘත හදවත් සැත්කමකට මුහුණදීම අපිට දැනෙන්නේ තරමක් බරපතළ විදියටයි. එවැනි සැත්කමකදී රෝගියාගේ සුවය තකා වෙනත් සත්වයෙකුගේ ශරීර කොටස් භාවිතා කිරීම සිදුකරතොත් එය ඇත්තෙන්ම සාමාන්‍ය හදවත් සැත්කමකට එහාගිය දෙයක් බව අමුතුවෙන් කිවයුතු නෑ.
එංගලන්තයේ යෝක්ෂයර්හි බෙටර්ලි ප්‍රදේශයේ රෝහලක සිදුකළ මෙවැනි අතිශය දුර්ලභ සැත්කමක් පිළිබඳයි මේ තොරතුර.

29 හැවිරිදි පෙට්ට්‍රා සිය කුළුදුල් දරු ප්‍රසූතියට මුහුණ දුන්නේ මීට වසරකට පමණ පෙරදිය. දරුවා පරීක්ෂා කළ වෛද්‍යවරුන් ඔහු නීරෝගී දරුවෙකු බව සහතික කළා. පෙට්ට්‍රා සහ ඇගේ සැමියා තම කුළුඳුල් පුතුව රූබන් වෙබර් ජැක්සන් ලෙස නම් කරා. ඉපදී දින කිහිපයකින් ඔවුන් තම දරුවා කැටිව රෝහලින් නික්මුණා. කුඩා රූබන් බලන්න පැමිණි සියලුදෙනා පුංචි රෝස මලක් වගේ හිටිය දරුවාට හරියට ආදරේ කළා. ඔහුගේ දෙනෙත් නිතරම නිදිබරව තිබුණා. ඇත්තෙන්ම කුඩා රූබන් වැඩි කාලයක් ගත කළේ නිදා ගනිමින්. “ඔයාට නං කරදර නෑ. මෙයා හැමතිස්සේම නිදි” බිලිඳා බලන්න ආපු අය කීවා. ඇතැමුන් කීවේ ලොකු වෙනකොට නිදාගන්න එකක් නෑ. ඇහැරගෙනම ඉදියි“ කියලා. කුඩා රූබන්ගේ මලානික දෙනෙත, රෝස පැහැ සිරුර හැමෝටම ආකර්ෂණයක් වුණා. එහෙත් පෙට්ට්‍රාගේ
ආකර්ෂණය වඩාත් යොමු වුණේ රූබන්ගේ දම් පාට දෙතොලට. “අම්මා වගේම පුතත් ලිප්ස්ටික් ගාලාදැයි“ පෙට්ට්‍රාගේ හිතවතියක් ඇසුවා. ඒත් මේ සතුටු සිනා වැඩිකල් තිබුණේ නෑ. කුඩා රූබන්ගේ සිරුරේ තිබුණ කුඩා ලප ප්‍රමාණය ටිකෙන් ටික වැඩි වුණා. ඔහුගේ හුස්ම ගැනීම ටික ටික වෙනස් වුණා. මේ ගැන පෙට්ට්‍රා කිව්වේ මෙවැනි දෙයක්.

“රූබන්ගේ හුස්ම ගැනීම ටිකෙන් ටික වෙනස් වුණා. ඉපදී  දින 14 යන කොට එයා හුස්ම ගත්තේ අපිට විහිළු කරන්න වගේ. මුලින්ම අපහසුවක් නොපෙන්නුවත් පසුව රූබන් හුස්ම ගත්තේ අසීරුවෙන්. අපි වහාම දරුවා වෛද්‍යවරයෙකුට පෙන්නුවා. ඔහු දරුවා වහාම හල් රාජකීය
ළමා රෝහලට රැගෙන යන ලෙස අපට කීවා. එහිදී අපේ දරුවා ස්කෑන් පරීක්ෂාවකට ලක්කළා. රූබන්ගේ හදවතේ කුඩා සිදුරු දෙකක් ඇති බවත්, එනිසා ඔහු හුස්ම ගන්නා විට හෘදය තුළ අධික පීඩනයක් ඇතිවෙන බවත් වෛද්‍යවරු අපට පැවැසුවා” යැයි පෙට්ට්‍රා පවසයි. වෛද්‍යවරු ඔහු ගැන අඛණ්ඩව පරීක්ෂණ සිදුකළා. අවසානයේ ඔවුන් නිගමනයකට ආවා. ඒ රූබන්ට හදිසි විවෘත හදවත් සැත්කමක් කිරීමට. එම සැත්කම නොකරන්නේ නම් ඔහුගේ ජීවිතය පැය 24කට වඩා විශ්වාස කළ නොහැකි බව වෛද්‍යවරු පැවැසුවා. පේ‍රට්ට්‍රාට සහ ඇගේ සැමියාට සැත්කමට කැමති වෙනවා හැර  විකල්පයක් තිබුණේ නෑ.

ඒ අනුව පැය කිහිපයක් තුළ සැත්කමට සියල්ල සූදානම් කෙරුණා. පෙට්ට්‍රා කැඳවූ වෛද්‍යවරු සැත්කමට අනුමැතිය දී ඇගේ අත්සන ලබා ගන්න පෙර ඇයට වැදගත් යමක් පැවැසුවා. ඒ මේ සැත්කමේදී ගවයකුගේ හදවතේ පටක රූබන්ගේ හදවතේ සිදුරු වැසීමට යොදා ගන්නා බවයි. ඒත් එයට එකඟ වෙනවා හැර වෙනත් විකල්පයක් ඇයට තිබුණේ නෑ. පැය ගණනක අසීරු හදවත් සැත්කමකට පසු කුඩා රූබන් දැඩි සත්කාර ඒකකයට ඇතුළු කළා. අයිස් මෙන් සීතලව තිබූ රූබන්ගේ සිරුර කමෛන් උණුසුම් වෙද්දී වෛද්‍යවරුන්ගේ බලා‍පොරොත්තු ඉහළ ගියා. සැත්කමින් සති 3කට පසු උපකරණ රහිතව හුස්ම ගන්න රූබන්ට හැකි වුණා. ඔහුගේ දම් පාට දෙතොල කමෛන් දුඹුරු පැහැයට හැරුණා. දැන් රූබන් තම ප්‍රථම උපන්දිනය සමරා අවසන්. මේ සැත්කමෙන් වසරක් යනතුරු සියලු තොරතුරු රහසිගතව තබා ගන්නට වෛද්‍යවරු තීරණය කළ නිසා සැත්කමේ තොරතුරු මාධ්‍යයට නිරාවරණය වුණේ වසරකට පස්සේ. 

අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු

0 comments:

Post a Comment